සජිත් ඇතුළු 21කට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් නොතීසි

ඔක් 13, 2020

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විසි එක් දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද නියෝග කළා.

    ඒ, සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කොමිසමට කර ඇති පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේදී. පසුගිය රජයේ නිවාස හා සමෘද්ධි අමාත්‍ය වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පිරිසට නොතීසි නිකුත් කළේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා විසින් තමන්ට දේශපාලන පළිගැනීමක් සිදු කළ බවට ජනාධිපති කොමිසමට සිදු කර තිබූ පැමිණිල්ලකට අදාලවයි.

    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන දෙදෙනාද වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ බන්දුල තිලකසිරි මහතා ඉල්ලීමක් කළත් ඒ දෙදෙනා දැනටමත් කොමිසම සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින බව කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළා.

    කොමිසම හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් බන්දුල තිලකසිරි මහතා කියා සිටියේ පසුගිය රජයේ තමා දරන ලද දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ධුරය ස්ථීර පත්වීමක් බවත්, එහෙත් හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් එම ස්ථිර පත්වීම අහෝසි කළ බවයි.

    තමා අන්තර්ග්‍රහණය කළ සේවයක කටයුතු කළ ස්ථිර සේවකයකු නිසා තම පත්වීම එසේ අහෝසි කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වගකිව යුත්තකු ලෙස සලකා කොමිසම විසින් ඔහු වගඋත්තරකරුවෙකු ලෙස නම් කෙරුණා.

    කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා දුරකථන ඇමතුමකින් පසුව පැමිණ තවත් සති දෙකක කාලයක් තමා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබීමට කටයුතු කළ බව ද තමාගේ නීතිඥවරු කොතෙක් කරුණු ඉදිරිපත් කළ ද ඇප ලබාදීමට කටයුතු නොකළ බවද සාක්ෂිකරු කොමිසමේ සභාපතිවරයා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා.

    පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කළ සෙසු පිරිස වූයේ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, එරාන් වික්‍රමරත්න, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම්. කේ. ආනන්ද විජේපාල රජයේ අධිනීතිඥ තුසිත් මුදලිගේ විමලසිරි පෙරේරා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර, හේවාහැටගේ සුමනපාල, ආර්. එච්. ඩබ්ලිව් කුමාරසිරි සේනාරත්න සහ ආර්. ඊ. එස්. රත්නායක ඇතුළු පිරිසයි.

    Latest News