පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාව අයැදිති

ඔක් 03, 2024
    යුක්තිය මෙහෙයුම අතරතුර වැරදීමකින් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි සිතා නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියා.

    කළුතර ප්රදේශයේ පදිංචි සෙල්වරාජ් රාජපාන්ඩි නමැත්තෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ඉල්ලීම සිදුවුණා.

    මෙම පෙත්සම අද ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමය වර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
     
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගනු ලැබුවේ මීගමුවපොලිස් ස්ථානයට සම්බන්ධ පොලිස් සැරයන් දිසානායක , ප්රේමරත්න පොලිස් කොස්තාපල්වරුන් වූ රත්නසිරි, සේනාධිර සහ නානායක්කාර යන අයයි.
     
    පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් ජනවාරි මස 16 වනදා තමන් මීගමුව අධිකරණයට ගොස් යළි වාහනයෙන් පැමිණි අවස්ථාවේදී යතුරුපැදි වලින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසී සිටි පිරිසක් වාහනය ඉදිරියෙන් මාර්ගය හරස්කොට නැවැත්වූ බවයි.
     
    ඉන්පසුව "අපි පොලිසියෙන්" යැයි සඳහන් කළ සිවිල් ඇඳුමින් සැරසි සිටි එම පිරිස තමන්ව පරීක්ෂා කර ඈතට මාංචු දැමූ බවත් තම දකුණු අතේ පච්චයක් තිබේදැයි පරික්ෂා කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා.
     
    පසුව තම අතේ පච්චයක් නොමැති බව තහවුරුවීමෙන් පසුව "මෙයා නෙවෙයි.. වැරදීමකින්" යනුවෙන් සඳහන් කරමින් එම පිරිස පිටව ගිය බවත් පෙත්සම්කරු කියා සිටියා.
    පසුව සිදුකළ සොයා බැලීම්වලදී මෙම නිලධාරීන් පිරිස මීගමුව පොලිසියට අනුයුක්ත පිරිසක් යැයි කරුණු තහවුරු කරගත් බවත් ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා.
     
    මෙම ක්රියාව තුළින් වග උත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    Latest News