ජනපති සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර හමුවක්

ඔක් 02, 2024
    ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
    දෙරට අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම හමුව සිදු වු අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සිය සුභාශීංසන පිළිගැන්වීය.
    එසේම ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි පාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කෙරෙන III වන චාල්ස් රජුගේ සහ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් (Sir Keir Starmer) මහතාගේ පුද්ගලික සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
    සෘජු විදේශ ආයෝජන (FDIs) ආකර්ශනය කර ගැනීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා බ්‍රිතාන්‍ය රජයේ නොමඳ සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කළ මහ කොමසාරිස්වරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ද බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළේය.

    Latest News