ශිෂ්‍යත්ව ගැටලුවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දුන් විසඳුම

සැප් 29, 2024

    මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවායැ කියන ප්‍රශ්න තුන සඳහා සියලු දරුවන්ට ලකුණු ලබාදීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, විභාගය යළි පැවැත්වීමක් සිදු නොවන බවයි අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    ශිෂ්‍යත්ව විභාගය පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වූ අතර විභාගයේ ප්‍රශ්න විභාගයට කළින් සාකච්ඡා කරන ලදැයි ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණා.

    එහිදී හෙළි වූයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛණයක් විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවයි.

    විභාග දෙපාර්තමේන්තුවේ මූලික පරීක්ෂණ වාර්තාව පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කෙරුණා.

    එම පරීක්ෂණවලින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතුරු වාර්තාවක් අධ්‍යාපන ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    මීට අමතරව, ප්‍රශ්න පිටවූ බවක් පෙනී නැහැ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අධ්‍යාපන විෂය බාර අමාත්‍යවරිය ලෙස දී ඇති උපදෙස් මත සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සදහා දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවක් පත් කෙරුණා.

    විභාගය නැවත පැවැත්වීම අවුරුදු 10 ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩාවක් ඇති කරන බවයි එම විද්වත් කමිටුව පෙන්වා දී ඇත්තේ. ඒ අනුව, දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට එම ප්‍රශ්න තුන සදහා ලකුණු දීම සිදුසු බව නිර්දේශ කර තිබෙනවා.

    Latest News