කෙහෙළියට එරෙහි නඩුවක් කල් යයි

ඔක් 03, 2024
    ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අධිකරණයේ පෙනී සිටියා.
    ඒ අනුව අදාල නඩුව කලින් නියම කළ පරිදි නොවැම්බර් මස 29 වනදා විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
    ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ජංගම දුරකථන සඳහා ගෙවිය යුතු රුපියල් 240000/- කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 11:02

    Latest News