සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවයි - තවත් 17 දෙනෙකුට කොවිඩ්

ඔක් 14, 2020

    (UP DATE) 

    මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 17දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 1608ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර, මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබේ.

    ඊයේ (13) දිනය තුළ නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 194 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 5038 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබිණ.

    ඉන් ආසාදිතයින් 3328 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 1697 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

    ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    අනෙකුත් ආසාදිතයින් 114 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි වාර්තා වන්නේ.

     

     

    පළමු සතිය තුළ ඔක්තෝබර් 5 – 11 දක්වා – 1186

    ඔක්තෝබර් 12 – 121

    ඔක්තෝබර් 13 – 90

    ඔක්තෝබර් 14 – 194 (උදෑසන 6 වන විට)

     

     

    බොරැල්ලේ ලෙස්ලි රණගල මාවතේ අතුරු මාර්ගයක් පොලිසිය විසින් තාවකාලිකව වසා දමා තිබේ.

    කොරෝනා ආසාදිතයින් 04 කු එම ප්‍රදේශයෙන් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන ඇත.

    ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිරිසක් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර ඇති නමුත් ඉන් කිසිවෙකු ආසාදිත යයි හෙළිවී නොමැත.

     

     

    මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි, මතුගම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පවසයි.

    මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ, මතුගම - කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක රියදුරු, කොන්දොස්තර මහතා හා එම බස් රථයේ හිමිකරුය.

    බස් රථ රියදුරු මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කොන්දොස්තර මතුගම බදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

     

    මේ අතර කහපොල, සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු නිරෝධායනයට ලක්කර ඇත.

    එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක්කළ බව පිළියන්දල පොලිසිය සඳහන් කරනවා.

    එම පිරිවෙනෙහි වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ ඇත.

    පසුව ඇයට කොවිඩ් ආසාදිත වයිරසය ශරීරගතවී ඇති බවට වාර්තාවීමෙන් අනතුරුව මෙම හිමිවරුන් පිරිස සහ අනෙකුත් පිරිස නිරෝධායනයට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.

     

     

    මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ගොස් සිටි තවත් තිදෙනකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    ඔවුන් මාරවිල, කටුනේරිය, ආරච්චිකට්ටුව සහ මුන්දලම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

    මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කළ වෙන්නප්පුව, ලුණුවිල පදිංචි පුද්ගලයකුට කොරෝනා ආසාදනයවීමත් සමග එහි 35 දෙනකුට පසුගියදා පීසීආර් පරීක්ෂණ සිදු කෙරිණ.

    එයින් 4 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

    ඔවුන් මන්නාරම, පෙරියකාඩු, නාත්තන්ඩිය, දුන්කන්නාව, වෙන්නප්පුව, ලුණුවිල සහ මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

     

     

    කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිළධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට, සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී ඇති බවට වාර්තා වෙයි.

    කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයට අනියුක්තව මෙම හෙදිය සේවය කර ඇත.

    ඇය මතුගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය මේ වනවිට කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

    ඇයට මෙම කොරෝනා වෛරසය කෙලෙස ආසාදනය වුවාද යන්න සම්බන්ධයෙන් තහවුරු වී නොමැත.

     

     

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින දිවුලපිටිය ප්‍රදේශයේ සිසුවෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

    දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්. කුලතිලක මහතා පැවසුවේ සිදුකළ පී.සී.ආර් පරික්ෂණයේ වාර්තාවට අනුව මෙම සිසුවාට වෛරසය ආසාදනයවී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

    එම සිසුවාගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට මීට පෙර හඳුනාගෙන තිබේ.

    මේ හේතුවෙන් එම සිසුවා සමග විභාගයට පෙනීසිටි සිසුන් 20 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබාදී ඇති බව එම්. කුලතිලක මහතා පැවසීය.

     

     

    සීදුව බෝඩිමක 42කට කොරෝනා : ස්වාමිපුරුෂයාට කොරෝනා කියා දැන දැන රැකියාවට ගිය බිරිඳගේ සේවා ස්ථානයේ 17කට වෛරසය ආසාදනය වෙයි.

     

     

    මිට මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හෙලිවීමේ පුවතක් රත්නපුර, කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    මෙම පුද්ගලයා යළි විදේශ ගතවීම සඳහා ඊට පෙර සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගෙන ඇති බවයි, කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

    කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම පුද්ගලයාගේ සමිපතයින් ගේ නිවෙස් සහ ඔහු ආ ගිය වෙළෙද සැල් ඇතුළු ස්ථාන 12ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට නියමිතව ඇත.

     

     

    දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

    එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින්, ජනතාව ක්‍රියාකරන්නේ නම්, කොරෝනා වසංගතය රට තුළ පැතිර යාම පාලනය කිරීමේ හැකියාව පවතින බවයි.

    ඇඳිරි නීතිය පනවා නොමැති හොරණ, අනුරාධපුර, රාගම, ගනේමුල්ල, රත්නපුර, කළුතර, සීදුව, කැලණිය, කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, මිගමුව, රත්මලාන, නුගේගොඩ, කඩව සහ හැටන් කියන ප්‍රදේශ වලින් කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වී තිබෙනවා.

    මෙලෙස වාර්තා වන්නේ මෙම පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ කිරීමේදී ඔවුන් ලබාදී තිබෙන ලිපිනයන් අනුවයි.

     

     

    පසුගිය 06 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ නගරයේ පී.සී.ආර් පරීක්ෂණ 2884 ක් සිදුකළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

    ඒ අතරින් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බව ඔහු කියාසිටියේය.

    නමුත් එම ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු පමණක් කොළඹ නගරයෙන් වාර්තා වී ඇති බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර, චක්‍රලේඛ නිකුත් කළ ද ජනතාවගේ සහය නොමැතිව කොවිඩ් නයින්ටීන් වසංගතය මර්දනය කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

    ඔහු පවසන්නේ දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව ක්‍රියා නොකර ආයතනවට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

     

     

    පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ජනතාව වඩාත් විමසිලිමත්ව, අවබෝධයෙන් කටයුතු කළ යුතු බව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

    ඔහු පැවසුවේ, තමන් ගමන් කරන වාහනවල අංක ළඟ තබා ගැනීමට ක්‍රියාකළ යුතු බවයි.

     

     

    කොළඹ සියලු බන්ධනාගාර නිලධාරීන් PCR පරීක්ෂණවලට යොමු කිරීමේ වැඩසටහනක් අද පැවැත්වේ.

    ඒ බන්ධනාගාර රෝහල කේන්ද්‍ර කර ගනිමිනි.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඒ අනුව, කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරෙන බවයි.

    ඒ සඳහා සියලු නිලධාරීන්ට පෙනී සිටින්නැයි, දන්වා ඇතැයි, ඔහු පැවසුවේය.

    කොමසාරිස්වරයා සඳහන් කළේ, එම පරීක්ෂණ සඳහා ඕනෑම නිලධාරියෙකුට මුහුණ දීමට අද ඉඩකඩ පවතින බවයි.

    මේ අතර, සියලු බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on බදාදා, 14 ඔක්තෝබර් 2020 17:40

    Latest News