රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි දිනටත් සාක්‍ෂි දෙයි

ඔක් 14, 2020

    පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීමට ඊයේ ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ දෙවෙනි දිනටයි.

    සාක්ෂි ලබාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තමන්ව ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීම් සඳහා 2018 ඔක්තෝබර් මාසයේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාව දක්වා නොකැඳවූ බවයි.

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " ඉදිරිපත් වූ කරුණු අනුව ඔබේ පාර්ශවය හා හිටපු ජනාධිපතිගේ පාර්ශවය මත ගැටුම් තිබූ බව දැන් නොරහසක් නේද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " එහෙම මත ගැටීම් නම් තිබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා වුණාම එතන තිබුණේ පොදු අපේක්ෂාවක් විතරයි. මත ගැටුම් ඇතිවුණා ඔය රැකියා දෙන අවස්ථාවල එහෙම. නැතුව ප්‍රතිපත්තිවල සහ පක්ෂ හැටියට නම් ගැටුම් තිබුණේ නැහැ. අමාත්‍යාංශ අතර යම් අවස්ථාවල ප්‍රශ්න තිබුණත් කිසිදු කටයුත්තකට ඒවා බලපෑමක් වුණේ නැහැ "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " කැබිනට් මණ්ඩලයේ අර්බුද තිබුණද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " ප්‍රශ්න තියෙනවා ඕන ආණ්ඩුවක. කැබිනට් එකේම ආණ්ඩු පක්ෂ කණ්ඩායමෙත් තිබුණා එහෙම. "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " ඔබතුමා 2015 ඉදලා හැම 2018 දක්වා සෑම ආරක්ෂක කවුන්සලයකටම සහභාගී වුණාද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " හැම රැස්වීමටම සහභාගී වුණේ නැහැ. සමහරවිට මම රටින් පිට හිටියේ. ඒ වගේම මේ රැස්වීම්වලට සහභාගී වෙන්න දැනුම්දීම එන්නෙ පැය 24 ක් 48 ක් වගේ ඇතුළත. එතකොට කලින් දාගත්ත වැඩ වෙනස් කරගන්න බැහැනේ. "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " ඉතින් මේ ප්‍රායෝගික ගැටලු ගැන හිටපු ජනාධිපතිතුමා සමග කතාකළේ නැත්ද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " මම වතාවක් දෙකක් කිව්වා එක නිශ්චිත දවසක් දාගන්න නැත්නම් කලින් කියන්න කියලා. නමුත් ජනාධිපතිතුමා කිව්වෙ බුද්ධි අංශ වාර්තා දෙන විදියට තමයි කැඳවන්නේ කියලා."

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " ඔබ අගමැති විදියට හිතන්නේ ආරක්ෂක කවුන්සලය සති පතා රැස්විය යුතුව තිබුණද? සාක්ෂි ඉදිරිපත් වුණා 2015ට කලින් නම් සතිපතා රැස්වුණා කියලා.. "

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " හදිසි යුධ අවස්ථාවක් නැත්නම් අඩුම තරමේ සති දෙකකට වතාවක් හරි රැස්කරන්න තිබුණා "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " ආරක්ෂක කවුන්සලයේ ඉස්ලාම් අන්තවාදය ගැන කතාවුණා ද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " ඉස්ලාම් වගේම අනෙකුත් අන්තවාද ගැනත් කතා කළා. නමුත් මධ්‍යස්ථ සම්ප්‍රදායික මුස්ලිම්වරු නැතිකරන්න අන්තවාදී අදහස් මතුවෙලා තිබුණා මුස්ලිම් සමාජයේම. අනිත් ආගම්වල එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " මේ සම්ප්‍රදායික මුස්ලිම්වරු ආරක්ෂා කරන්න රජයක් විදියට ඔබතුමන්ලා මොකද කළේ ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " අපේ එක්සත් ජාතික පක්ෂයෙත් වැඩියෙන් හිටියේ සම්ප්‍රදායික මුස්ලිම්වරු. ඉතින් ඒ අයව ආරක්ෂා කරන්න අපිට ලොකු වගකීමක් තිබුණා. ඒ අදාළ නීතිය හා සාමය ඇමතිවරු වගේම පොලිසිය දැනුම්වත් කළා මේ ගැන හොයන්න "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " හොයන්න කිව්වට.... 2017 අලියාර් ගැටුමෙන් පස්සේ සහරාන්ට වරෙන්තු නිකුත් වෙලා 2019 ෂැංග්‍රිලා එකෙන් මතුවෙලා පුපුරගන්නකල් ඔය පොලිසියට සහරාන්ව හොයාගන්න බැරි වුණා නේද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " අපි මේ වෙද්දී අන්තවාදී ආගමික කොට්ඨාසයක් ආරම්භ කරලා තිබුණේ මේවා හොයන්න. මේක CID එකට දුන්නා පොලිසියට මේක කරන්න බැරි නිසා. නමුත් ඔය අතරේ ආරංචි වුණා සහරාන් ඉන්දියාවට ගියා කියලා. ඒත් CID එක කිව්වේම ලංකාවෙ ඉන්නවා කියලා. එක වතාවක් තොරතුරු ලැබුණා කාශ්මීරයේ ඉන්නව කියලා. "

    අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " වරෙන්තු නිකුත් වෙන අනිත් සැකකරුවන් අල්ලගන්න පුලුවන් වෙලා මෙච්චර කාලයක් පුරාවට ඇයි හිටපු අගමැතිතුමා මේ සහරාන්ව විතරක්ම Arrest කරන්න බැරි වුණේ ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " මට ඒක කියන්න බෑ. මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ ගැන බුද්ධි අංශ නීතිය හා සාමය ඇමතිටවත් නොකිව්වෙ කියන එක. බුද්ධි අංශ සහරාන් ගැන කියද්දි මම නම් කියලා තියෙනවා ආරක්ෂක කවුන්සලයේ දී නීති උපදෙස් අරන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සහරාන් අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -

    " ඔය රැස්වීම්වල මුල් කාලයේ සුරේෂ් සලේ මහත්තයා අදහස් දක්වන එකට ඔබතුමා එතරම් සතුටක් දැක්වුවේ නැහැ කියලා වාර්තා වෙනවා. ඔබ මොකද ඒ ගැන කියන්නේ ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " මාධ්‍ය ඉන්න නිසා ඒ ගැන කියන්නා අමාරුයි. හැබැයි ඔහු දක්ෂ නිලධාරියෙක්. "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඒ වෙද්දි ලෝකෙ බොහෝ රටවල ISIS සංවිධානය තහනම් කරන්න පියවර අරන් තිබුණා. ඇයි ලංකාව තුළ ISIS තහනම් කරන්න හිතුවේ නැත්තේ ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " අපේ රටේ IS සංවිධානය ක්‍රියාත්මක වෙනවා කියලා ඒ වෙද්දි අපිට තොරතුරු ලැබුණේ නැහැ. එක පාරක් 2017 දී හිටපු යුධ හමුදාපති සිල්වා මහත්තයා කිව්වා හැබැයි තහනම් කළා නම් හොදයි කියලා. මං ඒත් කිව්වා ඒක අන්තවාදීන්ට උඩගෙඩි දීමක් වෙනවා සහ ඔවුන් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට හිරිහැර කරයි කියලා. එහෙම වුණා නම් අපිට මේ ගැන තොරතුරු එන මාර්ගත් නැති වෙනවා. 83 දෙමළ ප්‍රශ්නවලදිත් තොරතුරු ආවෙ නැත්තේ ඕකනේ "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -

    " ඒ වුණාට වික්‍රමසිංහ මහත්තයා.. තහනම් නොකළත් තොරතුරු ආවේ නැහැනේ නේද බෝම්බ පිපිරෙනකල් ? "

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " අපිට සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ ගැන තොරතුරු කියලා තිබුණා හිරිහැර වෙනවා කියලා "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -

    " නැ.. මම අහන්නේ විදෙස් බුද්ධි අංශයක් කියනකල් ලංකාවෙ බුද්ධි අංශ දැනගත්තේ නැහැනෙ මේ ගැන ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " ඒක අපේ බුද්ධි අංශවල ලොකු අඩු පාඩුවක්. සහරාන්ලා නුවරඑළියේ එහෙම පන්තිත් පැවැත්වුවා. දැනගත්තේ නැනෙ. "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -

    " ඇත්තටම ඔබතුමාට මතක් කරලා දුන්නොත්.. නුවරඑළියේ පන්ති පවත්වනවා කියලා පොලිසියට කිව්වා. පොලිසිය එතනට ගියා. සහරානුත් හිටියා.නමුත් පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැ කියලා මේ කොමිසමේදී හෙළිවුණා. ඇයි ශ්‍රී ලංකා පොලිසියට සහරාන්ව අත්අඩංගුවට ගන්න බැරි වුණේ.. දේශපාලන බලපෑමකද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " නෑ දේශපාලන බලපෑමක්නම් තිබුණේ නැහැ "

    ඉන් පසුව පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව රටේ උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා.

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " ප්‍රහාරය එල්ලවුණාට පස්සේ මම නීතිපති, සොලිසිටර් ජෙනරාල්වරයෙක් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් කැඳෙව්වා. නමුත් ජනාධිපතිතුමා කියලා තිබුණා ආරක්ෂක ලේකම්ට හා එතුමාගේ ලේකම්ට යන්න එපා කියලා. එයා හිතන්න ඇති මම එතන කේන්ද්‍රස්ථානයක් කරන්න යනවා කියලා. නමුත් අපි පසුව රැස්වෙලා තීරණ ගත්තා හිටපු අය එක්ක. ඒ අනුව මම තමයි කිව්වෙත් ඇඳිරිනීතිය දාමු කියලා. ඒ වුණත් මම ජනාධිපතිතුමාට කෝල් කරලා මේ ගැන දැනුම්වත් කළා. එතකල් එතුමා මට කෝල් කරෙත් නැහැ."

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -

    " මුස්ලිම් සමාජයේ ප්‍රශ්න ගැන දන්නේ මුස්ලිම් සමාජයේම සහාය ඇතුව. ඔබතුමන්ලාට මුස්ලිම් ඇමතිවරු රැසක් හිටියා. ඔවුන්ට මේ ගැන දැනුම්වත් කරන්න තිබුණා නේද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " ඔව් එහෙම කරන්න තිබුණා. මොකද මුස්ලිම් පක්ෂ තමයි ඒ අන්තවාදය හා ඒ කටයුතු හොදින් දන්නේ "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -

    " මුස්ලිම් දේශපාලකයන් අන්තවාදීන්ට උදව් කළා කියලා මේ කොමිසමේ සාක්ෂිත් තියෙනවා .. "

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " මේ ප්‍රශ්න තිබුණේ නැගෙනහිර. කල්මුණේ, පොතුවිල්වල තමයි මේවා වැඩියෙන්ම තිබුණේ. දේශපාලනය සම්බන්ධ වෙන්නත් ඇති ඉතින් "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -

    " ඔබ ප්‍රහාරයට පසු ජාතිය අමතලා කිව්වා මේ ප්‍රහාරය ගැන සාමුහිකව රජයක් විදියට වගකීම භාරගන්න ඕනෙ කියලා. ඒ කියන්නේ මේ වගකීම බෙදීයනව කියන එකද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " ඔව් මේ වගකීම ඔක්කොම අතරේ බෙදී යනවා. එදා වගකීම අපි සාමුහිකව භාර ගන්න තිබුණා"

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

    " හිටපු ගරු අගමැතිතුමා... ඔබතුමා මේ කියන්නේ ලංකාවේ ආරක්ෂක තත්ත්වය බිඳවැටී තිබුණ කියලද ?"

    හිටපු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ -

    " ඇත්තමට ඔව්.. එහෙම තමයි තිබුණේ.. "

    Latest News