රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරිණ.

2016 වසරේ මට්ටක්කුලිය, සමිට් පුර ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

රහස් පොලිසිය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍ය ශාෆි සිහාබ්දීන් මහතා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙ වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට, ප්‍රකාශ කරන්නැයි ඉල්ලි අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි 31 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

ඉකුත් රජය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජුලි මස 12 වනදා යළි කැඳවන ලෙස ොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම  කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියකට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු මස 26 වැනිදා යළි කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා තවදුරටත් ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් නමැත්තා තව දුරටත් මේ මස 26 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නේය.

අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන දෙවන පැමිණිල්ලට අදාළව අද සිට මාසයක් ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

Latest News