බකමූණ පොලිස් බල ප්රදේශයේ ඇළහැර අලිකන්දවත්ත ප්රදේශයේදී අද (11) අළුයම එකයි තිහට පමණ මෝටර් රථයක් ඇළහැර යෝධ ඇළට පෙරළී තිබෙනවා.
මෙම අනතුරින් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි අයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව බකමූණ පොලිසිය පවසනවා.
මෝටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ග සංඥා කණුවක ගැටී යෝධ ඇළට පෙරළී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
අනතුරින් මියගිය රියදුරු කටුගස්තොට ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටත්, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්රදේශයේ පදිංචි මවක සහ දියණියක බවට අනාවරණය වී ඇත.
අනතුරෙන් මියගිය කාන්තාවගේ සැමියා සඳහන් කළේ තම දියණිය රැගෙන ඒම සඳහා තම බිරිඳ මෙන්ම තමන්ගෙන් අධ්යාපනය ලැබීම සඳහා පැමිණ සිටි මහනුවර ප්රදේශයේ සිසුවෙකු මෝටර් රථයෙන් කොළඹ බලා ගොස් නැවත එන අතරතුරදී මෙම අනතුර සිදුවී තිබෙන බවයි.
ඇල මතට වැටී ඇති මෝටර් රථය ගොඩ ගැනීම සඳහා විශාල කාලයක් ගතවෙනු ඇති බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.