වනඅලි දුම්රියේ ගැටීම අවම කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මාර් 03, 2025
    වන අලි දුම්රියවල ගැටීම අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. 
    පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. 
     
    එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා,  ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. 
     
    පෙත්සම්කරුවන් කියා සිටින්නේ වන අලින් දුම්රියවල ගැටීමේ සිදුවීම් මේ වනවිට වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට තිබෙන බවයි. 
     
    2011 වසරේ දිවයින පුරා සිදු කරන ලද වන අලි සංගණනයකදී මෙරට වන අලි සංඛ්‍යාව 5879 ක්ව පැවති අතර මෑතක දී සිදු කරන ලද සංගණනයේදී එම  සංඛ්‍යාව 3130 ක් දක්වා පහත වැටී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා. 
     
    පසුගිය වසර 13 තුළ දුම්රිය වල ගැටීම හේතුවෙන් අඩුම වශයෙන් අලි ඇතුන් 151  ක් දෙනෙකු මියගොස් ඇති බවට නිල වාර්තා වලින් තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
     
    මෙසේ මියගොස් ඇති අලි ඇතුන්ගෙන් සියයට 40. ක් පමණ වයස අවුරුදු 30 ත් 40 ක් අතර වියේ පසුවන අලි ඇතුන් බවත් මෙම තත්වය අලි ඇතුන්ගේ ගහණය වර්ධනය වීමට අහිතකර ලෙස බලපාන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කළා.
     
    වැලි කන්ද සහ පූනානී අතර  දුම්රිය මාර්ගයේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2022 වසරේ එම මාර්ගයේ අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් 23 ක් වාර්තා වූ බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.
     
    ඊට අමතරව අඹන්පොළ සහ ගල්ගමුව, ගල් ඔය සහ හිඟුරක්ගොඩ, මනම්පිටිය සහ වැලි කන්ද වැනිමර්ගවලද
      අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් බහුල වශයෙන් වාර්තා වූ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
     
    මෙම දත්ත පිරික්සීමේදී  වර්ධනය වෙමින් පවතින අලි ඇතුන් දුම්රියවල ගැටීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවයක් අනාවරණය වන බවත් පෙත්සම්කරු සඳහන් කළා.
     
    මෙවැනි සිද්ධි මතුවී තිබියදීත් ඒවා වැළැක්වීම සඳහා නිසි ක්‍රියා මාර්ග නොගැනීම තුළින් වග උත්තරකරුවන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මේ වන විට සිදු වී තිබෙන දුම්රිය වල අලි ඇතුන් ගැටීමේ අනතුරු සිද්ධීන් පිළිබඳ වෝහාරික පරීක්‍ෂණයක් සිදු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.
     
    එමෙන්ම අනතුරු බහුල ප්‍රදේශවල අනතුරු වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් වෙත වේග සීමාවන් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා වන ජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රෙගුලාසි මාලාවක් නිකුත් කරන ලෙස පරිසර හා වනජීවි අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
    Last modified on සදුදා, 03 මාර්තු 2025 16:53

    Latest News