තාජුඩීන් ඝාතනට ආනන්ද සමරසේකරට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා

අගෝ 27, 2019

    රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි විනාශ කළ බවට චෝදනා එල්ල වී සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

    කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ විත්තිකාර සමරසේකර මහතාට නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කෙරිණ. ඉන් පසුව විත්තිකරු රුපියල් 25000/-ක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

    විත්තිකාර ආනන්ද සමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට එරෙහිව තමන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. එම මූලික විරෝධතා පිළිබඳව විමසීම සැප්තැම්බර් මස 19 වනදා සිදුකරන බව ද විනිසුරුවරයා නියම කළේය.

    වසීම් තාජුදීන් ඝාතනය සිදු වූ අවස්ථාවේ එම මරණයට අදාළ වැදගත් සාක්ෂි විනාශ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 13:58

    Latest News