ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය එච්.කේ.මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 09 වනදා සිට විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මාවනැල්ල බුදුපිලිමවලට හානි කිරීමේ සිද්ධියේ සැකකාරිය හා සැකකරුවන් 14 දෙනා අගෝස්තු 08 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල අධිකරණය අද නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දූන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 01වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා වනාන්තර හෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

කුරුණෑගල රජයේ රෝහලේ වෛද්‍ය සාෆි සිහාබ්දීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව නිසි පරිදි වගඋත්තරකරුවන් වෙත නොතීසි ලැබී නොමැති හෙයින් එම පෙත්සම සලකා බැලීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.31ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

වැල්ලම්පිටිය තඹ කම්මලේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා තවදුරටත් ලබන 29 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු , කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් කරුණු විමසා ලබන 19 වනදා අධිකරණය දැනුවත් කරන මෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විශේෂ පෙත්සම  විභාගය ඊයේ (12) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ තීන්දුව ඉදිරියේ දී කතානායකවරයාට දැනුම් දෙන බව ප්‍රකාශ කළේය.

මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි වාර්තා සහ ලේඛන ලබා නොදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම සඳහා ලබන අගෝස්තු මස 02 වනදා පැමිණිල්ල කැදවන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

Latest News