CID අධ්‍යක්ෂ ශානිට එරෙහි පැමිණිල්ල ප්‍රතික්ෂේපයි

අගෝ 23, 2019

    CID අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන ලෙසත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඉල්ලා නීතිඥවරයෙක් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

    මෙම පුද්ගලික පැමිණිල්ල නීතිඥ ජගත් ජාලිය සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබිණි. එම පුද්ගලික පැමිණිල්ල විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් එය ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.

    නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස, 2015.03.04 හා 2015.06.18 යන දිනවලදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගවලට අවනත නොවී, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ඔවුන් අත්අඩංගුවට ගැනීම ඕනෑකමින්ම මගහැරීමෙන් ශානි අබේසේකර මහතා දණ්ඩ නීති සංග්‍රහයේ 216(ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට තමන්ගේ පැමිණිල්ලෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබිණි.

    මෙම නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශානි අබේසේකර මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙසත්, මෙම නඩු කටයුත්තට සහභාගී නොවී විදේශ ගතවීමට ශානි අබේසේකර මහතා කටයුතු කරන බව තොරතුරු ලැබී ඇති බැවින් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නීතිඥ ජගත් ජාලිය සමරසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

    Latest News