වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝග සැප්.12

අගෝ 26, 2019

    හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සමක නියෝගය සැප්තැම්බර් මස 12 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කරයි.

    අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.

    මෙම පෙත්සම අද(26) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවන ලැබිණි. ඒ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවයේ ලිඛිත දේශන සැප්තැම්බර් මස 05 වනදා ඉදිරිපත් කර ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ පාර්ශවයේ නීතිඥවරුන්ට විනිසුරුවරයා නියම කර ඇත. අල්ලස් කොමිසමට අදාල ලිඛිත දේශන 10 වනදා ඉදිරිපත් කරන මෙන්ද විනිසුරුවරයා එම කොමිසමේ නීතිඥවරයාට දැනුම් දී තිබේ.

    ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ නියෝගය සැප්තැම්බර් මස 12 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු කුලතුංග මහතා නියෝග කර ඇත.

    හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියා සිටින්නේ තමා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළබව චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවයි.

    එම නඩුව ගොනුකර තිබෙන ආකාරය නීති විරෝධී යැයි සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව දිගටම විභාගයට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බවද කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරයි.

    මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීන්දුව නීතිවිරෝධී යැයි තීරණය කොට තමන්ව එම නඩුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයා සිය ප්‍රතිශෝධන පෙත්සම හරහා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News