කසුන් පලිසේනගේ ඇප කොන්දේසි ලිහිල් කෙරේ

අගෝ 20, 2019

    මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන මහතා වෙනුවෙන් පණවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම ක‍ළේය.

    එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කසුන් පලිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරුට ඇප නියම කිරීමේදී සෑම ඉරුදිනකම රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබූ බව ප්‍රකාශ කළේය. එම කොන්දේසිය ලිහිල් කරන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සෑම ඉරු දිනම රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවට පැනවූ ඇප කොන්දේසිය ලිහිල් කරමින් සෑම මසකම අවසන් ඉරුදින පමණක් රහස් පොලිසිය පෙනී සිටීම ප්‍රමාණවත් බවට නියෝග කළේය.

    පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සමාගමට අයත් තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ගිණුමේ පවතින මුදල් නිත්‍ය ආයෝජන පහසුකම් තැන්පතු ගිණුමට ආයෝජනය කිරීම අත්හිටුවමින් මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලීමක් කළේය. ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මහබැංකුවේ නිලධාරියා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.

    කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේ ලිඛිතව කරුණු දක්වන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියාට නියෝග කළා. අනතුරුව පැමිණිල්ල ඔක්තෝම්බර් මස 28 වැනිදා කැඳවීමට නියම කෙරුණේ.

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 16:34

    Latest News