වරාය හිටපු ලේකම් රන්ජිත් රජයේ මුදල් අවභාවිතා කළැයි චෝදනා

අගෝ 26, 2019

    ශ්‍රී ලංකා නැව් සංස්ථාවට 2010-2015 වසරවල දී සිලෝන් බ්‍රීස් ප්‍රින්සස් නෞකාව මිලදී ගැනිමේදී නැව් සංස්ථාව AVL international Beijing සමාගමට එක් නෞකාවකට, නෞකාවේ වටිනාකමට වඩා මුදලක් ඇමරිකානු ඩොලර් මිලියන 35ක් ගෙවීමෙන් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධියේ හිටපු වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් සහ ඔහු‍ භාවිතා කළ පරිඝණකය පරීක්ෂා කළ බවත් එහිදී මහාපරිමාණ මුදල් සංස්කරණය වීම් මෙන්ම දේපල මිලදී ගැනීම් අනාවරණය වූ බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

    මෙම මූල්‍ය වංචාවට අදාළව චින සමාගමේ ප්‍රධානියෙකුගේ හා ඔහුගේ පුත්‍රයාගේ බැංකු ගිණුම් කිහිපයක් පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අද අවසර ලබා දුන්නේය.

    මහේස්ත්‍රාත්වරයා මෙලෙස අවසර ලබා දුන්නේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අද මෝසමක් ගොනු කරමින් හිටපු වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ‍රන්ජිත් ප්‍රේමසිරි මහතා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදු කර ඇති මෙම ගනුදෙනුවෙන් ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ගිනූම් වලට මුදල් බැර වී ඇති බවත් චීන ජාතිකයා ඔහුගේ බිරිඳ සහායකයා යන අයගේ නමින් මිලදී ගත් සුපිරි නිවාස සංකීර්ණ වල ප්‍රේමසිරි මහතගේ පුතා සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරියක් නවාතැන් ගෙන සිට ඇති බවත් කුලි පදනම මත සිටි බවට ඔවුන් සතුව කිසිදු සාක්ෂියක් නැති බවත් සිදු කළ විමර්ශන අනාවරණය කළ බව පොලිසිය අධිකරණයට තව දුරටත් දන්වා සිටියේය.

    මෙම ගනුදෙනුව සිදු කිරීමෙන් පසුව හිටපු අමාත්‍යංශ ලේකම් වරයා සහ චීන ජාතිකයා සැක සහිත දුරකථන සබදතා පවත්වා ඇති බවත් නැවක තක්සේරු වටිනාකම වන ඇමරිකානු ඩොලර් මිලියන 20ක මුදලට වඩා වැඩි වටිනාකමක් ගෙවමින් මුදල් අවභාවිත කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර මෙම ගනුදෙනුව අර්ථලාභී සමාගමක් වන බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් හි ලියාපදිංචි කර ඇති ඇවින්මා හෝල්ඩ්න් සමාගමේ මිලියන 47ක්ද ලෝටස් ග්‍රෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ චීන ජාතිකයා විසින් ව්‍යාපාරික ගොඩනැගිලි ඉදි කොට ඇති බවත් ඉන් සියයට 10 කොටසක් මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවකු වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් පී ඩී ජයනාත් යන අයගේ ගිණුමකට බැර වී ඇති බවත් සිදු කළ විමර්ශන අනාවරණය කළ බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අධීකරණයට දන්වා සිටියේය.

    එංගලන්තයේ එම සමාගම සිදු කළ තක්සේරුවට අනුව නැව් දෙකක මිල ඇමරිකානු ඩොලර් මිලියන 20කට තක්සේරු කර ඇතත් නැව් දෙක මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 35කට බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය සිදු කළ විමර්ශන අනාවරණය කර ඇතැයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

    මේ සිද්ධියට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 15ක පාඩුවක් රජයට සිදුව ඇති බවටත් මේ මුදල් වලට සිදුවුයේ කුමක්දැයි යන්න පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය විමර්ශණයක් සිදු කරන බවටත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අධීකරණයට කියා සිටියේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධීකරණයට වාර්තා කරන ලෙස මහේස්තාත්වරයා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට නියෝග කළේය.

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 16:44

    Latest News