අරගලයෙන් විනාශ වූ දේශපාලකයින්ගේ නිවාස ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මාර් 11, 2025
    2022 වසරේ ගාලු මුව දොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසුව රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විනාශයට පත්  මැති ඇමතිවරුන්ගේ නිවාස වලට වන්දි ගෙවීමේ දී මහජන මුදල් අවභාවිතාවක් සිදුවී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
     
    සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පරිසරවේදියකු වන නීතිඥ ආචාර්ය. රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා. 
     
    එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු 15 දෙනෙකු නම් කර තිබෙනවා.
     
    පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත්  පෙබරවාරි මස 05 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා 2022 වසරේ මැයි මස 09 වනදා අරගල සමයේ නිවාස  විනාශ වූ හිටපු මැති ඇමතිවරු ඇතුළු 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි වශයෙන් රුපියල් බිලියන 1.22 ක මුදලක් ගෙවා තිබෙන බව සඳහන් කළේ යැයි කියා සිටියා.
     
    ස්වභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක්ව තිබියදී එම නීතිමය සීමාව අභිබවා මෙම දේශපාලකයින්ට ඉකුත් රජය විසින් වන්දි ගෙවා තිබූ බව අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් අනාවරණය වූ බවත් පෙත්සම්කරු කියා සිටියා.
     
    මෙය පැහැදිලිවම රාජ්‍ය මුදල් අවභාවිතාවක් බවත් පෙත්සම්කරු චෝදනා කළා.
     
    රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ වගකීම රජය වෙත පැවරී තිබෙන අතර  2022 වසරේ මැයි මස 09  වනදා එම වගකීම ඉටුකිරීමට එවක ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සහ එවක මහජන ආරක්ෂක අමාත්‍යවරු ඇතුළු ආරක්ෂක බලධාරීන් විසින් පැහැර හැර තිබෙන බවත් මේ හේතුවෙන් රට තුළ අරාජික තත්ත්වයක් උද්ගත වූ බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
     
    වග උත්තරකරුවන්ගේ මෙම ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. 
     
    ඊට අමතරව අනීතික ලෙස වන්දි මුදල් ගෙවා තිබෙන මැති ඇමැතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අනීතික  ලෙස සිදුකළ එම වන්දි ගෙවීම් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා , බලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් අයැද තිබෙනවා.
     
    ඊට අමතරව දේපළ හානි වූ මැති ඇමතිවරුන්ට විනිවිදභාවයකින් යුත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් හරහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
    Last modified on අඟහරුවාදා, 11 මාර්තු 2025 15:49

    Latest News