ජාවා භූ චලනයෙන් මරණ 162ක්

නොවැ 22, 2022

    ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඇති වූ භූමි කම්පාවෙන් මේ වන විට 162 දෙදෙනෙකු මියගොස්, 300 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව, එහි ආණ්ඩුකාර රිද්වාන් කමිල් පවසනවා.

    ඊයේ පස්වරුවේ හට ගැනුණු භූමිකම්පාව, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව සටහන් වී ඇත්තේ, රික්ටර් මාපකයේ 5 දශම 6 ක් ලෙසයි. බටහිර ජාවාහි සියන්ජුර් නගරයට කිලෝමීටර 10 ක් ගැඹුරින් මෙම භූකම්පනයේ කේන්ද්‍රස්ථානය පවතින බවයි, වාර්තා වී තිබෙන්නේ.

    ජාවා දූපතේ බලධාරීන් පවසන්නේ, භූ කම්පනය හේතුවෙන් එහි ගොඩනැගිලි සහ යටිතල පහසුකම් රැසකට හානි වී ඇති බවයි. ඊයේ රාත්‍රී සිට මේ දක්වා සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා.

    භූමි කම්පාව හට ගැනුණු ප්‍රදේශය ජනාකිර්ණ මෙන්ම, නාය යාම්වලට ගොඳුරු වන ප්‍රදේශයක් බව, වාර්තා වනවා. නියමිත ප්‍රමිතියට ඉදි නෙකෙරුණු නිවාස, සුන්බුන් බවට පත්ව තිබෙනවා.  

    ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ජාවාහි ආණ්ඩුකාර රිද්වාන් කමිල් කියා සිටියේ, භූමිකම්පාවෙන් 326 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අස්ථි බිඳීමට ලක්ව තිබෙනවා.

    ඇතැම් පුද්ගලයින් හුදෙකලා ස්ථානවල සිරවී සිටින බැවින්, මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබූවන් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි, ඔහු පවසනවා. මේ වන විට 13,000 කට අධික පිරිසක් අවතැන් වී සිටිනවා. ඉන්දුනීසියාවේ ජාතික ආපදා කටයුතු පිළිබඳ ඒජන්සි වාර්තා අනුව, භූමි කම්පාවෙන් නිවාස 2,200 කට වැඩි ප්‍රමාණයට හානි සිදුව තිබෙනවා.

    Latest News