පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙයි

අප්‍රේ 08, 2025
    2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
    ඒ අනුව, අදාළ ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහාත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා.
    අදාළ යෝජනාව ඉදිරිපත් කළේ, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතායි.
    ‍ඒ අනුව, 2025 අප්‍රේල් පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500 කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නංවා තිබෙනවා.
    එදින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 ක් දක්වා රුපියල් 380 කින් ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබෙනවා.
    2026 ජනවාරි පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3,000 කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නංවා ඇති අතර, එදින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120 කින් ඉහළ නැංවීමට පියවර ගැනුණා.

    Latest News