2019 වසරේ අප්‍රේල් 21 වැනිදා දේවස්ථාන 3 ක් සුඛෝපභෝගී හොටල් 3 ක් අතුළු ස්ථාන 8 ක සිදු වූ බෝමබ පිපිරීම් මාලාවෙන් 269 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.
තවත් පිරිසක් තුවාල ලැබුවා.
කතෝලික ජනතාවගේ උතුම් දිනයක් ලෙස සැලකෙන පාස්කු ඉරුදින උදෑසන දේවමෙහෙය පැවැත්වෙමින් තිබියදී, කොළඹ - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකලපුව සියෝන් දේවස්ථානය ලෙයින් තෙත්කරමින්, බෝම්බකරුවන් කිහිප දෙනෙකු සිය බෝම්බ පුපුරුවා ගෙන තිබුණා.
ඒ අතරතුර, කොළඹ නගරය ද භීතියට පත් කරමින්, ෂැංග්‍රිලා, කිංස්බරි සහ සිනමන්ග්‍රෑන්ඩ් යන සුඛෝපභෝගී හොටල් තුළටත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු කඩා වැඳුණේ, පාස්කු ඉරුදින උදේ ආහාරය ගනිමින් සිටි දෙස් විදෙස් පිරිස් ඉලක්ක කර ගෙනයි.
පාස්කු ඉරුදින අනපේක්ෂිත ප්‍රහාර මාලාවෙන් රටවල් 14 කට අයත් විදේශිකයින් 46 දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. තුවාල ලැබූ පිරිස 500 කට අධිකයි.
වත්මන් රජය බලයට පත්වීමත් සමග පාස්කු ප්‍රහාරයේ විමර්ශන කඩිනමින්, විනිවිද භාවයෙන් සහ වේගවත්ව සිදු කෙරෙමින් පවතිනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ බාරදී තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුවයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර 6ක් ගතවන අවස්ථාවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී තිබෙනවා.