උතුරු කැලිෆෝනියාව සෙලවෙයි

දෙසැ 06, 2024

    උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීම් කෙරුණද පසුව එය ඉවත් කරගෙන ඇති බවයි.

    හතළිස් හත් ලක්ෂයක පමණ ජනකායක් සිටින උතුරු කැලිෆෝනියාවේ සහ දකුණු ඔරිගන් ප්‍රාන්ත දෙකෙහිම වෙරළ තීරයේ සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකෙරුණා.

    උතුරු කැලිෆෝනියාවේ බර්ක්ලි නගරය ඇතුළු ඇතැම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමටද බලධාරීන් විසින් දැනුම් දෙනු ලැබුවා‍.

    අනතුරුව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් සුනාමි අවදානමක් නොමැති බවටයි.

    භූමිකම්පාවෙන් ගොඩනැගිලිවලට හෝ යටිතල පහසුකම්වලට විනාශකාරී හානි සිදුව නොමැති අතර ඇතැම් නිවාසවලට සුළු අලාබ හානි සිදුව ඇති බව ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළා.

    උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ 10,000 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

    එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසුව සුළු කම්පන කිහිපයක්ද වාර්තා වූ බවයි සඳහන් කළේ.

    එම ආයතනයේ දත්ත වලට අනුව වසරේ මේ දක්වා ගෝලීය වශයෙන් රිච්ටර් මාපක 7 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පා අටක් සිදුව තිබෙනවා.

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2024 09:25

    Latest News