ඉන්දියාවේ භූ කම්පන 2ක්

අගෝ 20, 2024
    ඉන්දියාවේ කාෂ්මීර නිම්නයේ අද උදේ රිච්ටර් මාපාංක 4.9 ක සහ 4.8 ක භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.
    ජීවිත හෝ දේපළ හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.
    භූ කම්පන දෙකෙහිම අපකේන්ද්‍ර‍ය බැරමුල්ලා දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
    රිච්ටර් මාපාංක 4.9 ක් වූ පළමු භූ කම්පනය, අද උදේ එරට වේලාවෙන් පෙරවරු 6.45 ට සිදුව ඇති අතර, එය පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර 5 ක පමණ ගැඹුරක සිට බලපා ඇති බවයි, එරට භූ කම්පන විද්‍යා සමීක්ෂණ ජාතික මධ්‍යස්ථානය පවසන්නේ.
    පසුව සිදු වූ රිච්ටර් මාපාංක 4.8 ක ප්‍රබලත්වයෙන් යුත් දෙවැනි භූ කම්පනය, පෙරවරු 6.52 කට වාර්තා වී ඇති අතර, එය පෘථිවි මට්ටමේ සිට කිලෝමීටර 10 ක ගැඹුරකින් යුක්තයි.
    භූ කම්පනයත් සමග බොහෝ පිරිස් තම නිවෙස්වලින් පිටතට ‍දිව ගොස් ඇති අතර, නොසන්සුන් වූ පිරිස් හේතුවෙන් මාර්ග රැසක අවහිරතා සිදු වූ බව, එරට මාධ්‍ය වාර්තා කරනවා.

    Latest News