ස්ථීර කළ උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට

ජන 12, 2022

    රාජ්‍ය සේවයේ ස්ථීර කරන 52,000ක් වන උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් වන 24,000ක් පමණ අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුබද්ධ වන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    පුහුණුවක් ලබා දී, රටේ දරුවන්ට මඟ පෙන්වන්නන් ලෙස ඔවුන්ට සේවය කළ හැකි බව ඔහු කියා සිටියේය.

    දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, උපාධිධාරීන් ස්ථීර කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරන අවස්ථාවට අද (12) එම කාර්යාලයේදී එක්වෙමිනි.

    එහිදි අමාත්‍යවරයා දැක් වූ අදහස්...

    “උපාධිධාරීන් 52,000ක් ස්ථීර කිරීමේ කැබිනට් අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස මම ප්‍රකාශ කරන්නේ, පළමුව ස්ථීර කර දෙවනුව කැමැත්ත සහ උපාධිය අනුව අවශ්‍ය ක්ෂේත්‍රයට අනුයුක්ත වීමේ නිර්දේශයද අප අනුකාරක සභාව ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම කෝවිඩ් දරුණු ලෙස ව්‍යාප්ත වී රට වසා තැබීමට සිදු වූ අවස්ථාවේ අන්තර්ජාලය ඔස්සේ වැඩ කිරීමට ජනාධිපතිතුමා සියල්ලන්ට ධෛර්ය ලබා දුන්නා. අප තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන් බිමන් අඩු කරගෙන අන්තර්ජාලය ඔස්සේ කටයුතු කිරීමෙන්, ඵලදායීතාවය ඉහළ යනවා. ඉන්ධන වැය වන හැම මොහොතක ම මුදල් විදේශයන්ට ගලාගෙන යනවා”.

    “රාජ්‍ය සේවා ව්‍යාපෘති නිම කිරීමේදී නියමිත කාලයට ඒවා අවසන් කළ යුතු බව මුදල් අමාත්‍යතුමා අදාළ සියලු අංශවලට දන්වා තිබෙනවා. මේ නිසා අලුතින් රාජ්‍ය සේවයට එන අය මේ පිළිබඳ විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඉතිහාසයේ ලොකු ම වැටුප් ප්‍රශ්නය, එනම් ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය, විශාල මුදලක් වෙන්කර, විසඳුවේ අප රජයයි. නව වැටුප මේ ජනවාරි මාසයේ සිට ම ඔවුන්ට ලැබෙනවා.”

    Latest News