ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පැවරීමට එරෙහි පෙත්සම

ජන 12, 2022

    ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සදහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.



    පුජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක යන හිමිවරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එහි සභාපතිවරයා, ට්‍රිංකෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම, විගණකාධිපති, ලංකා අයි.ඕ.සී. සමාගම, ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර හිමිවරු කියා සිටින්නේ ඉකුත් 04 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලය ඛනිජ තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු ලංකා අයි.ඕ. සී සමාගම සමග ඒකාබද්ධව සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් තීන්දු කළ බව ප්‍රකාශ කළ බවයි.

    ඉන් අනතුරුව මෙම තෙල් ටැංකි සංකීර්ණය පැවරීමේ ගිවිසුමක් ශ්‍රී ලංකා රජය හා ලංකා අයි.ඕ. සී සමාගම අතර අත්සන් කෙරුණු බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කෙරුණු බව ද පෙත්සම්කරු එම සංවර්ධන ක්‍රියාදාමය ට්‍රිංකෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම හරහා සිදු කෙරෙන බව ප්‍රකාශ කෙරුණු බව ද කියා සිටියා

    මෙවැනි තීරණයකට එළැඹමට අමාත්‍ය මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම ගිවිසුම අත්සන් කළ ආකාරය ද නීතියට පටහැනි බවයි කියා සිටින්නේ.

    මෙම ක්‍රියාව හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජනතාව රජය කෙරෙහි තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය කර තිබෙන බවත් නීතියේ ආධිපත්‍යය බිඳ හෙළීමට කටයුතු කර ඇති බවත් පෙත්සමින් චෝදනා කර තිබෙනවා.

    ඒ අනුව නීතියට පරිබාහිරව ගොස් අත්තනෝමතික ආකාරයෙන් සිදු කර ඇති මෙම ගිවිසුම හා අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම ප්‍රශ්න ගත අමාත්‍ය මණ්ඩල තීරණය හා ගිවිසුමේ පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) උප වගන්තිය ප්‍රකාරව විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    මෙම කරුණට අදාළව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වක්මුල්ලේ උදිත හිමියන් විසින්ද ඉකුත් දා පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

    Latest News