පාසල් ආරම්භ කිරීම ගැන සාකච්ඡාවක් ලබන බදාදා - ඇමති ජි.එල්.පීරිස්

මැයි 09, 2021

    එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවීමට බලාපොරොත්තු වන බවත් පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන අතර ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධව තීරණයක් ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (09) දින අනුරාධපුර ජයන්ති විහාරය, රුවන්වැලිසෑය, ලංකාරාමය යන ත්‍රිවිධ විහාරයන්හි නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

    මේ වනවිටත් සතියෙන් සතිය රටේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සමාලෝචනයට භාජනය කරමින් පාසල්, පෙරපාසල්, පිරිවෙන් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ අඛණ්ඩව සාකච්ඡා කරන බවත් උපකාරක පන්ති සම්බන්ධ තත්ත්වය ද එයම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

    'කොවිඩ් 19' අර්බූදය පැවතීම නිසා රටේ එදිනෙදා කටයුතු නැවැත්වීමට රජය අදහස් නොකරන බවත් රුසියානු එන්නත, චීන එන්නත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද අවශ්‍ය එන්නත් මේ වනවිට ලැබෙමින් පවතින බව ද ඒ අනුව ජනතාවට එන්නත ඉක්මනින් ලබාදීම රජයේ අපේක්ෂාව බව ද වැඩිදුරටත් පැවසී ය.

    Latest News