පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්

ජන 05, 2021

    බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ.

    හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.

    පවතින කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන් සඳහා පාසල් විවෘත කිරීම ඉතා අභියෝගාත්මක කටයුත්තක් වන හෙයින්, සෞඛ්‍ය බලධාරීන්ගේ මඟපෙන්වීම් හා පූර්ණ අධීක්ෂණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කර ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුකූල ව පාසල් ආරම්භ කිරීමට පෙර පාසලේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරලීමටත්, ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද විධිමත්ව පවත්වාගෙන යාමටත් විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසුන්, දෙමව්පියන්, පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සාමාජිකයන් ඇතුළු සියලු පාර්ශව පූර්ණ වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කරයි.

    ජනවාරි මස 11 වැනි දින සිට ආරම්භ කිරීමට තීරණය වී ඇති පාසල්වල 6,7,8,9 10 දිනයන්හි දී පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සහ දෙමව්පියන්ගේ ද සහාය ලබාගනිමින් විදුහල්පතිවරුන් විසින් කටයුතු කරන ආකාරය ද පළාත්, කලාප සහ කොට්ඨාස මට්ටමින් අධීක්ෂණය කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

    පාසල් ආරම්භ කිරීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහය මේ සමඟ යොමු කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gove.lk වෙත පිවිසීමෙන් ද මෙම උපදෙස් බාගත කර ගැනීමට අවස්ථාව සලසා තිබේ.

    Latest News