විදුහල්පති මාරු සහ උසස්වීම්; ඒකමතික කැබිනට් තීරණයක්

ජන 15, 2019

    වසර 8කට වඩා එකම පාසලක සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීම සහ ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් නොකිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව සම්මතවූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අද(15) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විමසා තිබේ.

    වසර ගණනාවක් තිස්සේ නිසි ක්‍රමවේදයකට අනුව බඳවාගැනීම් සහ උසස් කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පාසල් පද්ධතිය තුළ මෙම ගැටළුව නිර්මාණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇත. ඒ සඳහා තමන් විසින් පද්ධතියට නවක ශ්‍රේණිධාරීන් බඳවා ගැනීමට පියවර ගත් බව ඔහු සඳහන් කොට තිබේ.

    ගැසට් නිවේදන පළ කොට උසස්වීම් ක්‍රමවත් ව ලබාදෙමින් පුරප්පාඩු සහිත ජාතික පාසල් සඳහා  සම්මුඛ පරීක්ෂණවලට කැඳවීමට, නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

    ඊට සමගාමී ව එකම පාසලක වසර 8කට වඩා සේවය කර ඇති විදුහල්පතිවරුන් මාරු කිරීමට පියවර ගැනීමට තීරණය කර තිබූ බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ. නමුත් පසුගිය දින 50 ක කාලය තුළ අදාළ සම්මුඛ පරීක්ෂණ සහ අදාළ කටයුතු රැසක් ඇනහිට තිිබූ අතර ඇතැම් පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අදාළ ස්ථාන මාරුවීම්වලට එරෙහි ව අධ්‍යාපන අමාත්‍යාංශයට විවිධ බලපෑම් කරමින් සිටින බවද මෙහි දී සාකච්ඡා වී තිබේ.

    කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    කිසිදු බලපෑමකට යටත් නොවී සෘජු ව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමේ වැදගත්කම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ද එය අගය කර ඇති බවට වාර්තා වේ.

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 12:03

    Latest News