ව්ලැදිමීර් පුටින් ගෙන් නේටෝවට චෝදනාවක්

ඔක් 28, 2022

    ලෝකය මේ වන විට දෙවැනි ලෝක යුද්ධනේ පසු භයානකම දශකයට එළඹ ඇති බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.

    මොස්කව් නගරයේ දී දේශනයකට එක් වෙමින්, ඔහු මේ බව සඳහන් කළා.

    ජනාධිපති පුටින් මෙහිදී ප්‍රකාශ කළේ, මේ වන විට බටහිර රටවල් අතිශය භයානක කෲර සහ අප්‍රසන්න ක්‍රීඩාවක නිරත වෙමින් සිටින බවයි. ලොව පුරා ඇති වී තිබෙන අර්බුද රැසකටම බටහිර රටවල මෙම ක්‍රියාකාරකම් හේතුවී ඇති බවට, ඔහු චෝදනා කරනවා. වර්තමානයේ ඇති වී තිබෙන යුක්‍රේන අර්බුදයට ද බටහිර රටවල ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් හේතු වූ බව, ඔහු පෙන්වා දෙනවා. රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ යුක්‍රේනයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි. තමා‍ට න්‍යෂ්ටික චෝදනා එල්ල කරමින් මධ්‍යස්ථ මතදාරී රටවල්, රුසියාවට කෙරෙහි සතුරු කර වීමේ බටහිර න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද, ජනාධිපති පුටින් කියා සිටිනවා. බටහිර රටවල් වෙනත් රටවල පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමේ ප්‍රයත්නයක නිරත වී සිටින බවට ද, ඔහු චෝදනා කළා. ඉතිහාසයේ එක් ජාතියක් ලෙස ජීවත් වූ යුක්‍රේන සහ රුසියානු ජනතාව මේ වන විට යුද්ධයක පැටලී සිටිනවා. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‍අවධාරණය කරන්නේ, නේටෝ සංවිධානය සහ බටහිර රටවල් ඊට ප්‍රධාන වශ‍යෙන් වගකිවයුතු බවයි.

    Latest News