'කාකෝවා' වේල්ල පුපුරුවා හැරීමෙන් තවමත් යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට‍

ජූනි 09, 2023

    'කාකෝවා' වේල්ල පුපුරුවා හැරීමෙන් නැගෙනහිර හා දකුණුදිග යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබෙනවා.

    තම පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් සාමාන්‍ය වැසියන් දෙදහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කළ බව යුක්‍රේන රජය පවසනවා. යුක්‍රේන ප්‍රකාශයේ දැක්වෙන්නේ ජල ගැල්මෙන් හානියට පත් ප්‍රදේශවලින් සියයට 68 ක් තවමත් රුසියානු පාලනය යටතේ පවතින බවයි. සම්පූර්ණයෙන් ජලයෙන් යටවූ ප්‍රදේශය වර්ග කිලෝමීටර 600 ඉක්මවනවා. මේ වන විට ජලය ඩැනිප්‍රෝ ගංඟාව ඔස්සේ කළු මුහුදට ගලා යමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

    තවද තම රටේ දකුණුදිග ප්‍රදේශයේ රුසියානු හමුදාවට එරෙහිව නව මෙහෙයුමක් ආරම්භ කළ බව යුක්‍රේන හමුදාව පවසනවා. මේ සඳහා බටහිර රටවලින් අලුතින් ලැබුණු යුද ටැංකි, කාලතුවක්කු හා ඩ්‍රෝන යානා රැසක් යොදා ගෙන ඇති බවයි යුක්‍රේන හමුදාව ප්‍රකාශ කරන්නේ. යුක්‍රේන ප්‍රහාර වැඩි වී ඇති බවත්, තමන් ඊට සාර්ථකව මුහුණ දී ඇති බවත් රුසියාව පවසනවා.

    Latest News