දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය "වෙස්ට්මින්ස්ටර් ශාලාව" වෙත @RoyalFamily on Twitter

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය "වෙස්ට්මින්ස්ටර් ශාලාව" වෙත

සැප් 15, 2022

    දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය ඊයේ බකිංහැම් මාළිගයේ සිට පාර්ලිමේන්තුවේ "වෙස්ට්මින්ස්ටර් ශාලාව" වෙත රැගෙන යනු ලැබුවා.

    මහා බ්‍රිතාන්‍යයේ රාජකීය අවමංගල්‍ය සඳහා භාවිත කෙරෙන සාම්ප්‍රදායික අවමංගල රථය මගින් දේහය රැගෙන ගිය බව, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    ‍දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය රැගත් අවමංගල්‍යය රථය, ර‍ජයේ ප්‍රධාන ගොඩනැගිලි රැසක් පිහිටි ලන්ඩනයේ පැරණි වීථි ඔස්සේ ගමන් කළ බවයි, වාර්තා වන්නේ. දහස් සංඛ්‍යාත ජනයා මඟ දෙපස රැස්ව සිටිමින් රැජිනට සිය ගෞරවය දැක් වුවා. රැජිනගේ දේහය රැගත් අවමංගල්‍ය රථය පිටුපසින් තුන්වැනි චාර්ල්ස් රජු පා ගමනින් ගමන් කළා. ඈන් කුමරිය, ඇන්‍ඩෘ කුමරු, එඩ්වඩ් කුමරු, තුන්වැනි චාර්ල්ස් රජුගේ පුතුන් වන හැරී කුමරු සහ විලියම් කුමරු ඇතුළු රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින්ද ඊට එක් වුණා. අවමංග්‍ය රථය ශාන්ත ජේම්ස් උද්‍යානය පසුකරත්ම අශ්වාරෝහක පෙළපාලිය ඊට එක්වූ අතර, එය 18 වැනි සියවස දක්වා දිවෙන එරට චාරිත්‍රානුකූල පෙළපාලියක් ලෙසයි, සැලකෙන්නේ.

    තුන් වැනි චාර්ල්ස් රජුගේ ජීවිතාක්‍ෂක බලකායේ සාමාජිකයින් ද, එහිදී රැජිනගේ දේහයට සිය ආචාරය පුද කළා. බකිංහැම් මාළිගයේ සිට එරට පාර්ලිමේන්තුවේ "වෙස්ට්මින්ස්ටර් ශාලාව" වෙත දේහය රැගෙනයාමේ අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් දහසක් පමණ චාරිත්‍රානුකූල ඇඳුමින් සැරසී ඊට එක්වූ බව, වාර්තා වනවා. තුන් වැනි චාර්ල්ස් රජුගේ කැමිලා බිසව, වේල්ස්හි නවක කුමරිය වන කැතරින් කුමරිය, එඩ්වඩ් කුමරුගේ බිරිඳ වන වෙසෙක්ස්හි සොෆී ආදිපාදවරිය සහ හැරී කුමරුගේ බිරිඳ සසෙක්ස්හි මේගන් ආදිපාදවරිය මෝටර් රථයකින් "වෙස්ට්මින්ස්ටර් ශාලාව" වෙත ගමන් කළා. දේහය එම ස්ථානයට රැගෙන ගිය පසු රාජකීයයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ දේවමෙහෙයක් පැවැත්වුණා. අනතුරුව දේහයට ගෞරව දැක්වීම සඳහා ජනතාවට අවස්ථාව සලසනු ලැබුවා.

    Latest News