රැජිනගේ දේහය බකිංහැම් මාලිගයේ තැන්පත් කරයි

සැප් 14, 2022

    දෙවැනි එළිසෙබෙත් මහ රැජිනගේ දේහය බකිංහැම් මාලිගයේ තැන්පත් කර තිබෙනවා.

    එඩින්බරෝ සිට දේහය ලන්ඩන් වෙත රැගෙන එනු ලැබුවේ, ඊයේ රාත්‍රියේ. රාජකීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් බටහිර ලන්ඩන් හි නෝර්ටෝල්ට් වෙත දේහය රැගෙන එනු ලැබීය.

    නෝර්ටෝල්ට් ගුවන් තොටුපොළ වෙත රාජකීය පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු ද පැමිණ සිටියා. ඒ, හමුදා ගෞරව සහිතව රැජිනගේ දේහය පිළිගැනීමේ අවස්ථාවට සහභාගී වී‍ම සඳහායි. අනතුරුව, දේහය ලන්ඩන් වෙත රැගෙන එනු ලැබුවේ, රථ පෙරහරකින්. මාර්ගය දෙපස දහස් සංඛ්‍යාත පිරිසක් රැඳී සිටිමින් රැජින වෙනුවෙන් ගෞරවය පුද කරනු ලැබුවා. ඊයේ රාත්‍රියේ සිට තවමත් දේහය තැන්පත් කර ඇත්තේ බකිංහැම් මාලිගයේ.

    වින්සර් බලකොටුව සහ බකිංහැම් මාලිගය මහ රැජින වැඩි වශයෙන් රැඳී සිටි ස්ථාන ලෙසයි සැලකෙන්නේ. එරට වේලාවෙන් අද දහවල් 2.22 කට රැජිනගේ දේහය බකිංහැම් මාලිගයේ සිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වන වෙස්ට් මිනිස්ටර් ශාලාව වෙත රැගෙන යනු ඇති.

    මධ්‍යම ලන්ඩන්, කුයින්ස් ගාර්ඩන්, ද මෝල්, හෝස් ගාඩ්, හෝස් ගාඩ් ආර්ච්, වයිට් හෝල්, පාර්ලිමේන්තු මාවත සහ පාර්ලිමේන්තු චතුරශ්‍රය ඔස්සේ නිව් පැලස් යාර්ඩ් දක්වා සිරුර රිය පෙරහැරකින් රැගෙ යනු ඇති. මෙහිදී, ජනතාවට රැජිනට ගෞරව දැක්වීමට අවස්ථාව හිමි වන්නේ, මඟ දෙපස සිටිමින්. දේහය රැගත් රථ පෙරහර සමග තුන් වැනි චාල්ස් රජු, විලියම්, හැරී කුමාරවරුන් සහ රජ පවුලේ සෙසු සාමාජිකයන් ගමන් කරනු ඇති. වෙස්ට් මිනිස්ටර් ශාලාව දක්වා ගමන් කිරීමට ‍මිනිත්තු 38 ක පමණ කාලයක් වෙන් කර තිබේ.

    එහිදී විශේෂ ආචාර වෙඩි මුර පැවැත්වීමට සැලසුම් කිරීමට ඇති බවයි, වාර්තා වන්නේ. සවස, 3.00 වන විට දේහය වෙස්ට් මිනිස්ටර් ශාලාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව, කෙටි දේව මෙහෙයක් පැවැත්වෙයි.

    අනතුරුව, අද සවස 5.00 සිට මහජනතාව, රාජ්‍ය නායකයන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු සියලුදෙනාට රැජිනට ගෞරව දැක්වීමට අවස්ථාව හිමි වනවා. දේහය, දින 4 ක් වෙස්ට් මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇති. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ, ලබන 19 වැනි සඳුදායි. ඒ සඳහා දේහය, වෙස්ට් මිනිස්ටර් ශාලාවේ සිට වෙස්ට් මිනිස්ටර් ඇ‍බේ දේවස්ථානය දක්වා රැගෙන යාමට නියමිතයි.                                                           

    රාජකීය අවමංගල්‍යය උත්සවයේ දින 10 ක කාලය සම්පූර්ණ වන්නේ, එදිනටයි. එම දිනය, ‍එරට රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.

    Last modified on බදාදා, 14 සැප්තැම්බර් 2022 11:07

    Latest News