කැනඩා ගංවතුරින් සිව් දෙනෙකු මරුට...

නොවැ 21, 2021

    කැනඩාවේ බටහිරදිග ප්‍රදේශයේ ගංවතුර තවදුරටත් පවතිනවා.

    සිව් දෙනෙකු මියගොස් ඇති අතර කිහිපදෙනෙකු අතුරුදන් බවයි, වාර්තා වන්නේ. නිරිතදිග, බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයට ධාරානිපාත වැසි ඇද හැලෙන්නේ ඉකුත් ඉරිදා සිටයි. ඒ හේතුවෙන් දැඩි ගංවතුර සහ නායායෑම් ඇතිවුණා. මහා මාර්ග, පාලම් සහ ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා. මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි, බලධාරින් පවසන්නේ.

    ගංවතුර සහ නායයෑම් තත්වය හේතුවෙන් වසා තැබුණු වැන්කුවර් අධිවේගී මාර්ගය ඊයේ යළි විවෘත කෙරුණා. ඒ, අත්‍යවශ්‍ය ගමන්බිමන් සඳහා පමණයි. අවතැන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත්තේ, ගංවතුරින් පසු මතුව ඇති ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන්. අයහපත් කාලගුණයත් සමග භාණ්ඩ හා සේවා සැපයීමේ ප්‍රමාදයක් පවතිනවා.

    පුද්ගලයෙකුට මිලදී ගත හැකි ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා සීමාකර ඇති බවයි, වාර්තා වන්නේ. එසේම සුපිරි වෙළඳසැල් රැසක රාක්ක හිස්ව ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. වසරේ මුල්භාගයේදී අධික උෂ්ණත්වය සහ ලැව්ගිනිවලින් බලපෑමට ලක්වූ කැනඩාව ඉදිරියේදී අධික වැසි හේතුවෙන් පීඩාවට පත්වනු ඇති බවටයි, කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

    Latest News