අමෙරිකාවේ දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමක්

අගෝ 11, 2021

    අමෙරිකාවේ දරුවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වනවා.

    මේ හේතුවෙන් වයස 12 ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට කඩිනමින් අනුමැතිය ලබා දෙන ලෙසයි විශේෂඥයන් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ.

    අමෙරිකානු ළමා රෝග පිළිබඳ ආයතනයේ නවතම වාර්තාවකට අනුව ඉකුත් සතියේ එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගෙන් සියයට 15 ක ප්‍රමාණයක් කුඩා දරුවන්. සංඛ්‍යාත්මකව එය අනුව 94,000ක් පමණ වන බවයි වාර්තාවන්නේ. ඉකුත් සති දෙක තුළ කුඩා දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය 4% ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වනවා. එසේ වුවද බරපතල සංකූලතා හේතුවෙන් කුඩා දරුවන් රෝහල් ගත කිරීමේ සම්භාවිතාව ඉතාමත් අඩු මට්ටමක පවතින බවයි සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ. අමෙරිකාවේ ඩෙල්ටා වැනි ප්‍රභේද කුඩා දරුවන් අතර ශ්‍රීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබෙනවා. එබැවින් වැඩිහිටි ජනගහනය පූර්ණ එන්නත් කරනයට ලක් කරනවා සේම කුඩා දරුවන් එන්නත් කරන ක්‍රියාවලියට යොමු කිරීම වැදගත් වෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

    ඊයේ දිනයේත් ලක්ෂය ඉක්ම වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වුනා. මේ වන විට එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්කෝටි හැට අට ලක්ෂය ඉක්මවා ගොසින්.

    Latest News