ආසියානු ක්‍රිකට් ශූරයින්ට සහ ආසියානු දැල්පන්දු ශූරියන්ට උණුසුම් පිළිගැනීමක් (වීඩියෝ)

සැප් 13, 2022
  • ආසියානු ක්‍රිකට් කිරුළ සහ ආසියානු දැල්පන්දු කිරුළ දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම දිවයිනට පැමිණියා.

    ඔවුන්ට එහිදී, හිමි වුණේ, උණුසුම් පිළිගැනීමක්.

    පාකිස්තානයට එරෙහිව පැවති අවසන් තරගයෙන් ජය ගෙන, ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, අද අලුයම 4 ට පමණ කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්, ක්‍රීඩාලෝලීන් ඇතුළු විශාල පිරිසක් ඔවුන්ට සුබපැතීම සඳහා ගුවන්තොටුපොළට පැමිණ සිටියා.

    ආසියානු දැල්පන්දු කිරුළ දිනා ගත් දැල්පන්දු ක්‍රීඩිකාවන් අද අලුයම මෙරටට පැමිණියා. ඔවුන්ට සුබපැතීම සඳහා දැල්පන්දු සංගමයේ නිලධාරීන්, ක්‍රීඩාලෝලීන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

    අනතුරුව, අද උදෑසන 6.30 සිට රිය පෙරහරකින් ආසියානු ශූරයින් කොළඹට රැගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කටයුතු යොදා තිබුණා.

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවෘත බස් රථ දෙකකින් කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගය ඔස්සේ රථ පෙරහරකින් කොළඹට පැමිණියා.

    ජයග්‍රාහී කණ්ඩායම්වලට සුබපැතීම සඳහා විශාල පිරිසක් මඟදෙපස රැස්ව සිටිනු දක්නට ලැබුණා. කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය ඔස්සේ පෑලියගොඩ, මරදාන, යුනියන් පෙදෙස හරහා නිදහස් චතුරස්‍රය වෙත ආසියානු ශූරයින් පැමිණියා.

    Last modified on අඟහරුවාදා, 13 සැප්තැම්බර් 2022 17:12

    Latest News