ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන්ඩ්ස් කණ්ඩායමටත් ජයක්

සැප් 12, 2022

    “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ලෙජන්ඩ්ස්” ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

    ඒ, ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජය කරමින්.

    තරගාවලිය, ඉන්දියාවේ කාන්පූර් හිදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී එම් ඩිල්ෂාන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

    ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, නායක ඩිල්ෂාන් සමග ඩිල්ෂාන් මුණවීර. ඔවුන්‍ දෙදෙනා කණ්ඩායමට විශිෂ්ට ආරම්භයක් ලබා දෙමින්, ගොඩනැගූ සබඳතාව ලකුණු 208 ක්. ටී එම් ඩිල්ෂාන් වේගවත් ලකුණු 107 ක් රැස් කළේ, පන්දු 56 කට පමණක් මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට 4 පහර 14 ක් සහ 6 පහර 4 ක් ඇතුළත්. ටී එම් ඩිල්ෂාන් දැවී ගියේ ලකුණු 107 කට. ඩිල්ෂාන් මුණවීර පන්දු 63 කදී නොදැවී ලකුණු 95 ක් රැස් කළා. පන්දු 63 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් සහ 6 පහර 2 ක් ඇතුළත්.

    පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 180 ක් පමණයි. නේතන් රීඩන් පන්දු 19 කදී නොදැවී ලකුණු 46 ක් රැස් කළා. නායක ශේන් වොට්සන් ලකුණු 39 ක් ලබා ගත් අතර, කැමරන් වයිට් ලකුණු 30 යි. පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 36 කට කඩුලු 4 ක් දවා ගත්තා. චතුරංග ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් අතර කඩුලු 2 බැගින් දැවී ගියා. තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 38 කින්.

    තරගාවලිය යටතේ අද තවත් තරගයක් පැවැත්වෙනවා. ඒ, නවසීලන්ත සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර. තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය, හිමිව තිබෙන්නේ, ජාතික රූපවාහිනියට. සියලු තරග “අයි” නාලිකාවෙන් සජීව ලෙස විකාශය කෙරෙනවා.

    Latest News