ආසියානු සටනට ශ්‍රී ලංකා සංචිතය

අගෝ 29, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය, අද ප්‍රකාශයට පත්කළා. තරගාවලිය හෙට ආරම්භ වනවා.



    ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ ශ්‍රී ලංකා සංචිතයට, ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.

    නායකයා දසුන් ශානක. උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ සදීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවා තිබෙන්නේ පිතිකරුවන් ලෙසයි.

    මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ දුෂාන් හේමන්ත දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට කැඳවා තිබෙනවා. වේග පන්දු බලඇණිය ශක්තිමත් කරන්නේ මතීෂ පතිරණ, කසුන් රජිත, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්.

    මීට පෙර වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුසංක සහ ලහිරු කුමාර සංචිතයට නම් කර තිබුණ ද ආබාධ හේතුවෙන් ඔවුන් ඉවත් කර තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා තවමත් උණ රෝගයෙන් පෙළෙන බවත්, ඔහු සුව වූ පසු කණ්ඩායම සමග එක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

    තරගාවලියට සහභාගි වන නේපාල කණ්ඩායම ඊයේ පාකිස්තානයට පැමිණියා. ඔවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි. තරගාවලිය ආරම්භ කරමින් නේපාල කණ්ඩායම හෙට ‍පාකිස්තානය සමග තරග වැදීමට නියමිතයි. එය මුල්තාන් හිදී පැවැත්වෙනවා.

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකාවේදී සහ පාකිස්තානයේ දී හෙට සිට ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය,
    බංග්ලාදේශය සහ නේපාලයේ සහභාගිත්වයෙන්.

    මූලික වටයේදී ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය “ඒ” කාණ්ඩයෙන් තරගවදිනවා. ශ්‍රී ලංකාව, බංග්ල්දේශය සහ ඇෆ්ගනිස්තානය “බී” කාණ්ඩයට ඇතුළත්. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන 16 වැනි අවස්ථාව මෙයයි.

    පැවති තරගාවලි පහළොවේ දී අවස්ථා 13 ක එක්දින තරගාවලියක් ලෙසත්, අවස්ථා දෙකකදී 20 x 20 තරගාවලියක් ලෙසත් ආසියානු කුසලානය පැවැත්වුණා. මෙතෙක් ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනකදී ආසියානු කුසලානය ජයගෙන තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමයි.

    Latest News