පොලිස්පති පුජිත්ට පුතුගේ විවාහයට සහභාගිවීමට කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේපවේ

දෙසැ 17, 2019

    පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී මැරීමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටින අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුතුගේ විවාහ උත්සවයට සහභාගිවීමට අවසර ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අවධානය යොමු කිරීමට පියවර ගන්නා බව කොළඹ මහාධිකරණය අද නියම කළේය.

    ඇප ලබාදෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ අයැදුම්පතක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීණ.

    පූජිත් ජයසුන්දර මහතාගේ පුතාගේ විවාහ උත්සවය ජනවාරි 02 වන දා පෙරවරු 6.30 ට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත බවත් ඊට අනුබද්ධ උත්සවයක් එදිනම සවස 7.00 ට මීගමුවේදී පැවැත්වීමට නියමිතව ඇති බවත් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කියා සිටියේය. ඒ අනුව ඔහුට උත්සවයට සහභාගිවීමට අවසර දෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට නියෝගයක් නිකුත් කරණ මෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීක් කළේය.

    එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

    එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු පටබැඳිගේ මහතා එම ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බව විවෘත අධිකරණයේ නියම කළේය. අනතුරු ඇප පෙත්සම ජනවාරි මස 09 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට විරෝධතා ඇත් නම් ඉදිරිපත් කරන්නැයි වගඋත්තරකාර පාර්ශවයට විනිසුරු විසින් දැනුම් දුන්නේය.

    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ඇප පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නීතිපතිවරයාට නියම කළේ එම නඩුවට අදාළ විරෝධතා ඇත් නම් ජනවාරි මස 9 වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 11:27

    Latest News