පූජිත් හා හේමසිරි 23 දක්වා යළි රිමාන්ඩ්

දෙසැ 17, 2019

    පාස්කු ඉරු දින ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් රාජකාරී පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම විමර්ශනයට අදාළව හිටපු පොලිස්පතිවරු තුන්දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් කළේය.
    මෙම විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ මුස්ලිම් අමාත්‍යවරුන් කීපදෙනෙකු සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් රහස් පොලිසියට උපදෙස් ලබා දී ඇති බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 23 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.
     
    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 10:53

    Latest News