ගාලුමුවදොර ප්‍රහාරයට සම්බන්ධවූවන් සොයා වහාම විමර්ශනයක් කරන්න; නීතිපති පොලිස්පතිට දන්වයි

මැයි 10, 2022

    ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය කරමින් සාමාකාමී විරෝධතාවට නීතිවිරෝධි අයුරින් කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

    නීතිපතිවරයා පෙන්වා දි ඇත්තේ, කොළඹ නගර සීමාව තුළ ඇති වූ මේ ප්‍රචණ්ඩ සිද්ධිය මුල් කරගෙන රට පුරා බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාමකාමිව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය යොදා ගනිමින් ජනතාව සති කිහිපයක සිට විරෝධතාව පවත්වා ගෙන ගිය බව නීතිපතිවරයා පෙන්වා දෙයි.

    නීතිපතිවරයා මෙම ලිපියේ අවධාරණය කර ඇත්තේ, ජනතාවට ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම රජයේ සියලුම පාර්ශ්වයන්ට පැවරෙන බවයි.

    සාමකාමීව රැස්වී සිදුකළ මෙම විරෝධතාවයට ඊයේ දිනයේ විශාල පිරිසක් කඩා වැදී සිදුකළ ක්‍රියාව රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් හා අපරාධමය ක්‍රියාවක් බවද නීතිපතිවරයා පෙන්වා දි තිබේ.නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, මීට අදාළ පරීක්ෂණ ප්‍රමුඛතාවය ලබා දී වහාම සිදුකරන ලෙසයි.

    එමෙන්ම, ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    කඩිනමින් විමර්ශන ආරම්භ කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 10 මැයි 2022 17:59

    Latest News