පූජිත් ජයසුන්දර නිදහස් කරනවා ද? නැද්ද? නියෝගය ලබන 18 වනදා

ජන 20, 2022

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසුව එම චෝදනාවලින් ඒ මහතා නිදහස් කරන්නේද? විත්ති වාචකය කැඳවන්නේ ද? යන නියෝගය ලබන මස 18 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

    මෙම නඩුව අද නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පාස්කු කිසිදින ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය මාර්ගයෙන් ලකුණු කරනු ලැබුවා.

    එම ලකුණු කිරීම්වලින් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියා.

    එම කරුණ සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම චෝදනාවලින් විත්තිකරු නිදහස් කරන්නේ ද? එසේත් නැතිනම් ඔහු වෙනුවෙන් විත්තිවාචකයක් කැඳවන්නේද? යන නියෝගය ලබන මස 18 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළා.

    මෙම නඩුවට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු සාක්ෂි කරුවන් හතර දෙනෙකුගෙන් සහ ලේඛන 759 ක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබුණා.

    Latest News