තේ වතු 8ක කාර්ය මණ්ඩලය පාරට..වැඩ අඩාලයි

නොවැ 26, 2019

    මස්කෙලිය ප්‍රදේශයේ තේ වතු අටක කාර්යය මණ්ඩලය අද (26) දින මවුස්සාකැලේ මංසන්ධියේ දී උද්ඝෝෂනයක නිරත විය.

    ලංකා වතු සේවා සංගමයට අයත් එම සමාජිකයන් ඊයේ (25) දින ඔහුන් වෙත වතු පාලන අධිකාරි මගින් ගෙවීමට තිබු මාසික වැටුප ලබා ගැනිමද වර්ජනය කර තිබේ.ලංකා වතු සේවා සංගමය මගින් තේ වතු සමාගම් 21 ක සේවය කරන වතු කාර්යය මණ්ඩලය සදහා ඉදිරි වසර තුන සදහා බල පැවැත්වෙන පරිදි 25% ක වැටුප වැඩි විමක් සම්බන්ධයෙන් වතු සමාගම්වල පාලන අධිකාරිය සහ ලංකා වතු සේවා සංගමය අතර පසුගිය දා සාමුහික ගිවිසුමක් අත්සන් කර තිබේ.

    එම සාමුහික ගිවිසුම අනුව නව වැටුප වැඩි කිරිම වතු සමාගම් 18 විසින් සිදු කර එම වැඩි වු වැටුප මුලික වැටුපට එකතු කර තිබේ. මස්කෙලිය වැවිලි සමාගම යටතේ පාලනය වන මස්කෙලිය වැවිලි සමාග, කැගල්ල වැවිලි සමාගම සහ නමුණුකුල වැවිලි සමාගම වැඩි වු වැටුප මුලික වැටුපට එකතු නොකර දිමනාවක් වශයෙන් ලබා දිමට එරෙහිවයි මස්කෙලිය ප්‍රදේශයේ වතු අටක වතු කාර්යය මණ්ඩලය උද්ඝෝෂනයේ නියැලුණේ.

    උද්ඝෝෂකයින් කියා සිටින්නේ තමන්ට වැඩි කල 25 % වැටුප අනෙකුත් වතු සමාගම් 18 මෙන් මුලික වැටුපට එක් කර ගෙවිමට තම වතු සමාගම කටයුතු කල යුතු බවයි. එතෙක් තමන් මාසික වැටුප ලබා නොගන්නා බවත්, නව වැටුප ලබා ගන්නා තෙක් අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරතව සිටින බවත් ඔවුන් පවසයි.

    ස්තැස්පි, බෘවුන්ස්වික්, මරේ, ලක්ෂපාන, බ්‍රවුන්ලෝ, ග්ලැන්ටි, මවුස්සාකැලේ, ග්ලැනේජි යන වතු වල ප්‍රධාන විධායක නිලධාරින්, කාර්යයාල ලිපිකරුවන්, ක්ෂේත්‍ර නිලධාරින්, රියදුරන්, වතු වෛද්‍යවරුන්, සුභ සාධන නිලධාරින්, කාර්මික අංශයේ නිලධාරින් සහ තේ වතු යායවල් විවිධ අයුරින් සේවය කරන කාර්යය මණ්ඩලයේ සේවකයින් මෙම උද්ඝෝෂනයට එක් වි සිටියි.

    මස්කෙලිය ප්‍රදේශයේ ඇතැම් වතුවල අද දින තේ දළු නෙලිමේ කටයුතු සිදු නොකල බවත්, තවත් වතු කිහිපයකම කාර්යයාල සහ තේ කර්මාන්ත ශාලා වසා දැමු බවයි වතු අධිකාරිවරුන් පවසයි.

    ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම වතු සමාගම් තුන සාමුහික ගිවිසුමට අදාල වැටුප් වැඩි විම වතු කාර්යය මණ්ඩලයේ මුලික වැටුපට එක් කරගෙවිමට කටයුතු නොකරන්නේ නම් ඉදිරි දින කිහිප තුලදී වතු සමාගම් තුනේ කාර්යය මණ්ඩලය දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙණ බවයි.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 12:02

    Latest News