ශ්‍රී ලංකාවට ඝණ අපද්‍රව්‍ය විදුලි බලාගාරයකට ඉතාලි රජයේ සහාය

ඔක් 13, 2019

    ශ්‍රී ලංකාවට ගැටළුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට ඉතාලි තාක්ෂණික සහාය මෙන්ම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පැවසුවාය.

    පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය රවී කරුණානායක මහතා හා නිල සාකච්ඡාවකට සහභාගි වෙමින් තානාපතිවරිය මේ බව කියා සිටියාය.

    ශ්‍රී ලංකාවේ විදුලියනය තත්ත්වය පිළිබදව ප්‍රසාදය පළකළ ඉතාලි තානාපතිවරිය, සීඝ්‍රයෙන් වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමේ ගැටළුවට ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණදිය හැකි අතර ඒ වෙනුවෙන් පෙර සූදානමක් ඇති කරගත යුතු බවත්, ඊට කදිම විසදුමක් වශයෙන් ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය හදුන්වාදිය හැකි බව ඇය පෙන්නා දුන්නාය.

    අපද්‍රව්‍ය ටොන් 100 ත් 300 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ හැකියාව ඇති ඉවතලන අපද්‍රව්‍ය බලාගාරයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා සහ තානාපතිවරිය අතර සාකච්ඡා පැවති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන ඉදිරි පියවරයන් ගැනීමට තම රටේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමටද තානාපතිවරිය සිය එකඟත්වය පළකර ඇත.

    ශ්‍රී ලංකාව තුළ පවතින මිල අවම විදුලි උත්පාදන මුලාශ්‍රය වන ජල මුලාශ්‍රය, මේ වනවිට විදුලි උත්පාදනය සදහා උපරිමයෙන් යොදාගෙන තිබේ. ඉදිරි විදුලි ඉල්ලුම් සපුරාලීම පිණිස මෙවැනි මිල අවම, පරිසර හිතකාමි විදුලි උත්පාදන ක්‍රමවේදයක් වෙත අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරිය වෙත සිය කෘතඥතාව අමාත්‍ය රවී කරුණානායක මහතා පළ කළේය. ශ්‍රී ලංකාව තුළ මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ඉතාලි රජයේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.

    දීර්ඝකාලීනව පැවතගෙන එන ඉතාලි ශ්‍රී ලංකා මිත්‍ර සබදතා සහ ද්වීපාර්ශවීය සහයෝගීතාවය මේ තුළින් තවතවත් තහවුරු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

    Latest News