රට ණය කළේ රාජපක්ෂ ආණ්ඩුවේ නැව් නැති වරායවල් හා ගුවන්යානා නැති ගුවන් තොටුපළවල් හැදිමෙන් - අමාත්‍ය රවී

ඔක් 30, 2019

    රාජපක්ෂ ආණ්ඩුවේ නැව් එන්නැති වරායවල් හා ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හැදිමෙන් රටේ ණය බර වැඩි වු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ජනතාවගේ අනාතගතය සුරක්ෂිත කිරිමේ පැහැදිලි තීරණය ගන්න පුළුවන් අවස්ථාව නොවැම්බර් 16 දා උදාවන බව ඔහු අවධාරණය කළේය. කොළඹ 14, එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්, එ.ජා.ප. උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේය.

    විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා.......

    " රාජපක්ෂ ආණ්ඩුව නැව් එන්නැති වරායවල් හැදුවා හම්බන්තොට. ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හැදුවා මත්තල. ඒවා තුළින් තමයි රටේ ණය බර වැඩි වුණේ. 2015 අපට හැකිවනා ආදායම වැඩි කරලා, වියදම අඩුකරලා, එක නගරයකට, එක දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය සමස්ත දිවයින පුරාම ව්‍යාප්ත කරන්නට. අද අධිවේගී මාර්ග රට හැමතැනම තිබෙනවා. ඒ වගේම ගෙවල් ලක්ෂ 03 කට වඩා හදලා තිබෙනවා. තවත් ලක්ෂ 02ක් හදාගෙන යනවා. සමෘද්ධිය වැඩි කරලා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් විශාල වර්ධනයක් ඇතිකළා. ඉතාමත් හොද අධ්‍යාපන ක්‍රමයක් ඇති කරලා තිබෙනවා. අපි කිව්වොත් ඒ දේ කරන පක්ෂයක්. ඒ නිසා ගෙයින් ගෙට ගිහින් හදවතින් හදවතට කතා කරලා, පවුල් වාදය පසෙකට දාලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැපවෙමු. ඒ සදහා මේ වනවිට රටේ සෑම පක්ෂයක්ම අපි සමග එකුතු වෙලා තිබෙනවා. පොදුජන පෙරමුණ විතරයි අද අපි සමග නැත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාවල සිටින මන්ත්‍රීවරු 2400 කින් 1200 කට වැඩි ප්‍රමාණයක් මේ වෙද්දි එක්සත් ජාතික ප්කෂයට එකතුවෙන්න කටයුතු කරලා අවසානයි" යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා අවධාරණය කරයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා..,

    "මේ රටේ ජනතාවගේ අනාතගතය සුරක්ෂිත කරන්න තීරණයක් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි නොවැම්බර් 16 දා ඇති වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද, පවුල් වාදය ආරක්ෂා කරනවාද කියලා ජනතාව තීරණ කල යුතුයි. වසර 10 ක් තිස්සේ රාජපක්ෂ සමය තුළ මොනවගේ පාලනයක්ද තිබුණේ කියලා අපි කව්රුත් දන්නවා. 2015 ජනවාරි 08 දා ජනතා වරමෙන් නැවත ප්‍රජාතන්ත්‍රවාදයේ පිබිදීමක් ඇති කරන්න අපට පුළුවන් වුණා.

    සමහර පිරිස් අන්තවාදය වපුරලා මේ රටේ ලොකු ප්‍රශ්න ඇති කරලා තිබෙනවා. අපි මේ තත්ත්වය පිටුදැකලා, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. අපේ ප්‍රතිවාදීන් කියනවා එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් මේ රටේ ඒකීය භාවය නැතිවෙයි කියලා. කවුද මේ රටට ඒකීයභාවය හඳුන්වලා දුන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ජනා‍ධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා තමයි මේ රටට ඒකීයභාවය හදුන්වලා දුන්නේ. වසර 05 ක් අපි ආණ්ඩු බලය ගෙනගියා. මේ කාලසීමාව තුල රටේ ඒකීයභාවය නැති වුණාද. එක්සත් ජාතික පක්ෂය තුළින් හදුන්වාදුන් මෙ ඒකීයභාවය, මෙතෙක් දුරට අපි රැකගෙන ආව ඒකීයභාවය, තවදුරටත් ආරක්ෂා කරන්න අපි කැපවෙලා ඉන්නවා.

    සෑම දෙයක්ම ඉෂ්ට කරන්න බැරි වුණත් අපි හැකි අයුරින් ජනතා සේවයක් කළා. උතුරු කොළඹ ආසනයේ අපි ගෙවල් 10,000ක් හදලා දුන්නා. තවත් 25,000 ක් හදනවා. උතුරු කොළඹ ආසනයේ ගෙවල් අවශ්‍ය සෑම දෙනාටම ලබාදෙන්න අපි කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ පියා ඇති කල නිවාස සංකල්පය, සජිත් ප්‍රේමදාස මැතිතුමාත් ඉදිරියට ගෙනියනවා. ඒ විතරක් නෙමෙයි, රටේ ආර්ථිකය ගැන අපි සලකා බැලිය යුතුයි. 2015 දී රාජපක්ෂ ආණ්ඩුව අපට බාරදුන්නේ, ණය ගෙවාගන්න බැරි, දණගස්වපු ආර්ථිකයක්. මේ වනවිට අපි පාරිභෝගික භාණ්ඩ රාශියක මිල අඩු කරලා දීලා තිබෙනවා. මේ තත්ත්වය ඉවසගන්න බැරි ප්‍රතිවිරුද්ධ කණ්ඩායම, ලොකුලූණු මිල වැඩිවීම ගැන පමණක් කතා කරනවා. මිල අඩුකල භාණ්ඩ ගැන කතා කරන්නේ නැහැ. මේ අය කරන්නේ ජනතාව නොමග හැරිමක්.

    මේ රට සිංහල බෞද්ධ රටක්. නමුත් අද සියළු ජාතීන්ට, සියළු ආගමිකයන්ට සහයෝගයෙන් ජීවත් වියහැකි තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට අපට විශේෂ සහායක් ලබාදුන් අන්තවාදය මැඩපවත්වන්න. එදා රාජපක්ෂ පාලන සමයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කටයුතු කළේ රාජපකෂ ආණ්ඩුවේ අණ පරිදියි. නමුත් දැන් ඔවුන්, ඔවුන්ගේ සැබෑ නිල බලය පාවිච්චි කරලා කටයුතු කරනවා ආණ්ඩුවේ ඇගිලි ගැසීම් වලින් තොරව. ඒ වගේම රජයේ සේවයේ, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ වැටුප් වැඩිකළා අපි බලයට පත්වෙලා දින 35 ක් ඇතුළත. මේවා කියන්නේ පම්පෝරි ගහන්න නෙමෙයි. කයිවාරු ගහන අයට අපි කරපු දේවල් මතක් කරලා දෙන්න යැයි ඔහු කියා සිටියේය.

    Latest News