ජිනීවා මානව හිමිකම් වාර්තාවට එරෙහිව ඉතාලියේ ලාංකිකයින් විරෝධතාවයක (වීඩියෝ)

මාර් 15, 2021
  • ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඔස්සේ ශ්‍රී ලංකාවට එල්ල කෙරෙන තර්ජනයට විරුද්ධව ලොව පුරා ශ්‍රී ලාංකික ජනතාව හඩ නගමින් සිටියි.

    එවැනි තවත් උද්ඝෝෂණයක් ඊයේ පස්වරුවේ ඉතාලියේ මිලානෝ නුවර දී පැවැත්විණ. අධික ශීතල කාලගුණයක් පැවතිය ද මිලානෝහි ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයන් උද්ඝෝෂණය සඳහා එක්වූයේ එරට ප්‍රකාශිත සෞඛ්‍ය නීතිරීතිවලට අනුගතවයි.

    සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන් උද්ඝෝෂණයට සහභාගීවීමට අවසර ලැබුණේ සුළු පිරිසකටයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව ඉලක්ක කර ගනිමින් නිකුත් කර ඇති වාර්තාව බෙහෙවින් අසාධාරණ බව ශ්‍රී ලාංකිකයන් පෙන්වා දුන්නේය. ශ්‍රී ලාංකික ක්‍රියාකාරියෙක් වන අරුන් සිද්ධාර්ථන් යාපනයේ සිට මේ විරෝධාතාකරුවන් ඇමතීම විශේෂත්වයක්.

    ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සකස් කරන මූලික රටවල් කණ්ඩායමේ නිර්දේශ සැබෑ මානව හිමිකම් තත්වය පසෙකලා දේශපාලනික මැදිහත්වීමකට අදාළ පසුබිම සකසා ඇතැයි,ශ්‍රී ලාංකිකයන් චෝදනා කරයි. එල්ටීටීඊ ඩයස්පෝරාවේ අවශ්‍යතා සියල්ල ඉටු වන පරිදි මේ යෝජනාව සකසා තිබෙන බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    කොටි ත්‍රස්තවාදය දරුණු ලෙස පවතිද්දී හඩක් නොනැගූ අන්තර්ජාතික බලවේග යුද්ධය අවසන් කර ශ්‍රී ලංකාවට සැබෑ සාමයක් උදා කළ රණවිරුවන්ට එරෙහිවීම හෙළා දකින බව ද ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවට එරෙහි විදෙස් මැදිහත්මීමක් සඳහා පසුබිම සකස් කරන මුලික රටවල් කණ්ඩායමේ යෝජනාව ඉදිරි සතියේ දී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරපත් කිරීමට නියමිතයි. ඊට එරෙහිව යුරෝපයේ ජනතාව දැනුවත් කිරීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව ප්‍රකාශ කරයි.

    Last modified on සදුදා, 15 මාර්තු 2021 18:38

    Latest News