ලොකුළූණු බද්ද රුපියල් 39කින් පහළට

ඔක් 01, 2019

    ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළ තිරණය කර තිබේ.

    අද රැස්වු ජීවන වියදම් කමිටුව මෙම තීරණය ගත් බව එහි සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය. වෙළඳපළෙහි ලොකුළූණු කිලෝවක මිල ඉහළ යාමෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්විම වැලැක්විමේ අරමුණින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා කීය.

    ලොකුළූණු ගොවියා සුරැකීම උදෙසා ජීවන වියදම් කමිටුව මඟින් ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රු. 40 කින් ඉහළ දැමීමත් ඉන්දියාවේ පවතින දේශගුණික බලපෑම මත ඉන්දියාව විසින් ලොකුළූණු අපනයනය නැවැත්වීමත් මත මෙරට දේශීය ලොකුළූණු කිලෝවක තොග මිල රු. 250 සිට 300 දක්වා ඉහළ ගියේය. ඒ අනුව පාරිභෝගික ජනතාවට සහනයක් පිණිස ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට රු. 39 කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කොට ඇත.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි වාර්තාවන්ට අනුව මේ වන විට දේශීය ලොකුළූණු අස්වැන්නෙන් 75% ක් නෙලා අවසන්ව තිබේ. බද්ද පහළ දැමීමත් සමඟ වෙළඳපලෙහි දැනට පවතින ලොකුළූණු කිලෝවක මිලෙන් රු. 50 ත් 70 ත් දක්වා මිලක් අඩුවනු ඇතැයි ජීවන වියදම් කමිටුව අපේක්ෂා කරයි. ඉදිරියේ දී ඊජිප්තුව හා පකිස්ථානය වැනි රටවලින් ලොකුළූණු ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවස්ථාවක් ඇතැයි කමිටුව ප්‍රකාශ කළේය.

    Latest News