රංගේ බණ්ඩාරගේ ලොකු ලූනු මිලේ අලි බොරුවක්: කවුරුන් හෝ දීපු ලණුවක් - යු. බී. ඒකනායක

දෙසැ 18, 2019

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් රුපියල් 110 සිට රුපියල් 160 දක්වා වූ මිල ගණන් යටතේ ලොකු ලූනු ඕනැ තරම් මිළදි ගත හැකි යැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු . බී. ඒකනායක මහතා පවසයි.

    ලොකු ලූණු කිලෝවක් රුපියල් හත් සියයකට විකිනෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශයට පිළිතුරු සපයමින් ඔහු මේ බව කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ලොකු ලූණු කිලෝවක් රුපියල් හත්සියයකට අලෙවි වෙන බවත් ජනතාවට සැපද යන්න මාධ්‍ය මඟින් ඊයේ ප්‍රශ්න කර සිටියේය .

    වෙළඳපොලේ ලොකුලූනු රුපියල් හත්සීයකට අලෙවි වනවා ද යන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයා බැලීම සඳහා අප වර්තාකරු ගිය අවස්ථාවේදී එහි සභාපති යු . බී. ඒකනායක මහතා කියා සිටියේ පාලිත රංගේ බණ්ඩාර මහතාට කවුරුන් විසින් හෝ වැරදි තොරතුරක් ලබාදී ඇති බවට සිතන බවයි. රතු ලූනු කිලෝවක් දඹුල්ල වෙළදපොලේ රුපියල් 450 සිට 550 දක්වා මිලකට අලෙවි වෙන බවත් හෙතෙම සඳහන් කළේය. දේශීය හෝ විදේශීය ලොකු ළූණු කිලෝව දිවයිනේ කිසිම දිනක රුපියල් හයසියකට හත්සීයකට අලෙවි වීමක් වාර්තා වී නැතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

    උපරිම රුපියල් 300 ත් 350ක් අතර මිලකට මීට පෙර ඉහළ ගොස් තිබුණු බවත් එහෙත් විදේශ රටවලින් ලොකු ලූනු ගෙනත් මිල පාලනය කිරීම සිදු කළේ යැයිද හෙතෙම කියා සිටියේය.

    ඉන්දියාවේ ගංවතුරෙන් ලොකු ලූනු වගාව හානිවීමෙන් ඉන්දියාවේ ලූනු අඩුව විශාල වශයෙන් මෙරටට බලපෑම් ඇති කොට තිබෙන බවත් ඉන්දියාව හැර අනෙකුත් රටවල් වලින් ලොකු අවශ්‍යතාවයට ලූණු ගෙන්වා ඇතැයිද හෙතෙම අවධාරනය කළේය. යාපනයෙන් ලැබෙන රතු ලුණු තොග අවම වීම රතු ලූනු මිල ඉහළ ගොස් තිබෙන බවත් තවත් සතියකින් පමණ විදේශීය රතු ළුණු මෙරටට පැමිණීමට නියමිත බවත් ඒකනායක මහතා පැවසිය. එම තොග ලැබුණ පසු රුපියල් හාරසියයකට අඩුවෙන් රතුලූනු අලෙවි කිරීමට හැකියාව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

    පාලිත රංගේබණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට රතුලූනු සහ ලොකු ලූනු දෙක පැටලී සිදුකල ප්‍රකාශයක් යැයි තමාට පිළිගැනීමට නොහැකි බවත් එවැනි මාධ්‍ය හමුවකදී ඕනෑම අයෙකු සූදානම් වී තොරතුරු දැනගෙන මාධ්‍ය හමුවට වාඩිවීම සිදුකරන බවත් ඇතැම් විට රටේ ජනතාව නොමග යැවීම සඳහා එවැනි ප්‍රකාශයක් කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒකනායක මහතා සඳහන් කළේය.

     

     

     

     

    Latest News