තොන්ඩමන්ගේ සහය සජිත්ට ද ගෝඨාභයට ද තීරණය 8 වැනිදා

ඔක් 01, 2019

    ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය පිරිනැමීම පිලිබදව තිරණාත්මක සාකච්ඡාවක් එහි විධායක සභාව විසින් 8 වැනිදා පවත්වන බව ජ්‍යෙෂ්ඨ උප සභාපති මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා පවසයි.

    ජනාධිපතිරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් සමගත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත් මේ වන විට සාකච්ඡා පවත්වා ඇතැයි ඔහු කියා සිටියේය.

    එම පක්ෂ වලින් ලද ආරාධනා මත විධායක සභාව නියෝජනය කරන තමන් සහ ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහතා සමග එම සාකච්ඡා වලට ගිය බවත්, ජනාතා විමුක්ති පෙරමුණෙන් තමන්ට මෙතෙක් කිසිදු ආරාධනාවක් නොලැබුණ බවත් ඔහු පෙන්වා දුනී.

    වතුකරය සදහා වෙනමම විශ්ව විද්‍යාලයක්, රාජ්‍ය සේවයට වතුකරයේ තරුණ තරුණියන් බදවා ගැනිම් ඇතුළු ඉල්ලිම් 32 සම්බන්ධයෙන් ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනා සමග සාකච්ඡා කල බවත්, එම ඉල්ලිම් වලට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් ඔහු කියා සිටියේය. ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාවේදි ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා සමග පැවැත් වි සාකච්ඡා වල ප්‍රගතිය දැනුම් දෙන බව මරදපාණ්ඩි රමේෂ්වරන් පැවසියීය. ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පලාත් සභා මැතිවරණය පිලිබදව විශේෂ අවධානය යොමු කර විධායක සභාවේ වැඩි බහුතරයකගේ කැමැත්ත මත කුමන ජනාධිපති අපෙක්ෂකයාට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන්නේද යන්න පිලිබදව තිරණයක් ගන්නා බවයි මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    Latest News