කන්ජිපානි ඉම්රාන් යළි රිමාන්ඩ්

සැප් 09, 2019

    විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන දැනට සිරදඬුවම් නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

    මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු පොලිස් නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කර ඇති හෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇප ලබා දීමකින් තොරව ඔහු නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් තිබෙන බව සඳහන් කළේය.

    මෙහිදී පොලිසිය කල ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී කංජිපානි ඉම්රාන්ගේ තර්ජනයට භාජනය වූ පොලිස් පරීක්ෂකවරයෙකුගේ ජංගම දුරකථනයක් රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළේය. මීට අමතරව පැමිණිලිකාර පොලිස් පරීක්ෂකවරයා සහ සැකකාර කංජිපානි ඉම්රාන් කටහඬ පරීක්ෂණ සඳහා ඉදිරියේ දී රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය මෙහිදී පොලිසියට වැඩිදුරටත් දැනුම් දී සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කංජිපානි ඉම්රාන් ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි නියම කළේ.

    පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවකට අනුව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නමැති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට අධික සංඛ්‍යාවක් සමග පසුගිය කාලයේ අත්අඩංගුට ගෙන තිබූ බව ප්‍රකාශ කර තිබේ.

    එම අවස්ථාවේ විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන එල්ල කොට අසභ්‍ය වචනවලින් බැන වැදී මරණීය තර්ජන කර ඇතැයි ද ප්‍රකාශ කළ කෙසෙල්වත්ත පොලීසිය මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස කංජිපානි ඉම්රාන් නම්කර තිබේ.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 14:16

    Latest News