ජනපති නිවසට ගිනිතැබූ සිව් දෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

ජූලි 28, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තබා විනාශයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හතර දෙනෙකු අගෝස්තු මස 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය කරනු ලැබීය. 

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා දැනට විදේශ ගමන් තහනම් කොට සිටින ඉවෝන් ඇන්ඩෘ පෙරේරා නැමැත්තා ද මෙම සිද්ධියේ පස්වන සැකකරු ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නේය. 

    සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ආරම්භක අවධියේ පවතින හෙයින් පොදු දේපළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව විමර්ශන කටයුතු සිදුකරන බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී විරුද්ධ වන බවත් දන්වා සිටියේය. 

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබු නිල රථයට සහ ගිනි නිවන රථයක් ඇතුළු පොලිසියට අයත් වාහන තුනකට මේ අවස්ථාවේ සිදු වී ඇති අලාභ හානි සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලබාගැනීමට කටයුතු කරන බවයි. 

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ වාහනවලට සිදු වූ අනර්ථය පිළිබඳව රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් වාර්තාවක් ලබාගැනීමට අවසර ලබා දුන්නේය.

    මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියේ දී රථවලට සහ දේපලෙවලට සැකකරුවන් විසින් හානි සිදු කළ බවට සනාථ කරන කිසිදු සාක්ෂියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන්නේය.

    එවැනි තත්ත්වයක් මත සැකකරුවන්ට විරුද්ධව පොදු දේපළ පනත යටතේ චෝදනා නගන්නේ කෙසේදැයි ප්‍රශ්න කල එම නීතිඥවරු සැකකරුවන් සුදුසු ඇප මත ෙ මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. 

    මෙම සැකකරුවන් නිශ්චිත වශයෙන්ම රජයේ දේපළවලට හා වාහනවලට පහර දුන් බවට මේ අවස්ථාවේ කරුණු අනාවරණය නොවුනද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට මොවුන් ආරාධනාවකින් තොරව ඇතුළු වූයේ කුමක් සදහා දැයි හේතු දැක්වීමට ඔවුන් අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය. 

    ඉන් අනතුරුව සැකකරුවන් පිරිස ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.  

    Latest News