සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය පුවත් පළ කළ තරුණයෙක් රිමාන්ඩ්

ජූනි 08, 2021

    ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන වල වෙබ් අඩවි සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි, සැකපිට අත්අඩංගුවට ගන්නා ලද තරුණයෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු "ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන වලට සයිබර් ප්‍රහාරයක්" යනුවෙන් අසත්‍ය පුවතක් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන තම වෙබ් පිටුවේ පළකර ඇතැයි පැවසීය.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමින් සමාජ මාධ්‍ය පිටුවක් ඔහු විසින් පවත්වාගෙන යන බවයි, එම නිලධාරීන් සඳහන් කළේ.

    සැකකරු විසින් සිදුකළ මෙම අසත්‍යය ප්‍රචාරය තුළින් ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද බරපතළ අගතියක් සිදු වී ඇති බව එම නිලධාරීන් සඳහන් කළේය.

    මෙම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් නවදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන හෙයින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

    මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහු ඇප මත මුදා හරින මෙන් ඉල්ලීමක් කළේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ අතර හෙට දින ඔහු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 17:14

    Latest News